
ප්‍රජාශක්ති වැඩසටහනේ 2026 ප්‍රගතිය සමාලෝචනය කෙරේ
දිළිඳුකම තුරන් කිරීම, සමාජ සවිබල ගැන්වීම සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ප්‍රජාශක්ති වැඩසටහනේ 2026 වසරේ ප්‍රගතිය සහ 2027 වසර සඳහා වන ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
ව්‍යාපෘති 23,000ක් ක්‍රියාත්මකයි
2026 අයවැයෙන් ප්‍රජාශක්ති වැඩසටහන සඳහා වෙන් කළ රුපියල් බිලියන 25ක මුදලින් මේ වනවිට රුපියල් බිලියන 23ක ප්‍රතිපාදන යොදාගෙන ඇති බව මෙහිදී අනාවරණය විය.
එම ප්‍රතිපාදන යටතේ ව්‍යාපෘති 23,000කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර ඇති අතර, එම සියලු ව්‍යාපෘති මෙම වසර තුළ අවසන් කිරීමට හැකිවනු ඇතැයි ද අවධාරණය කෙරිණි.
විශේෂ ආදර්ශ ව්‍යාපෘති සහ ව්‍යවසාය සංවර්ධන වැඩසටහන් සඳහා තවත් රුපියල් මිලියන 2,000ක ප්‍රතිපාදන යොමු කර ඇති අතර, ඒ හරහා හඳුනා ගන්නා ව්‍යාපෘති ඉදිරියේදී ප්‍රජාශක්ති වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ප්‍රජා දත්ත පද්ධතිය සූදානම්
ප්‍රජා සංවර්ධන සභා සඳහා ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන් පත් කිරීමේ කටයුතු අවසන් කර ඇති බවද සාකච්ඡාවේදී සඳහන් විය.
ප්‍රජාශක්ති වැඩසටහනේ 2026 ප්‍රගතිය සමාලෝචනය

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත රැස් කිරීමේ කටයුතු සඳහා එම නිලධාරීන්ගේ සහාය ලබාදීමටත්, ග්‍රාමීය මට්ටමේ දත්ත සම්පාදන ක්‍රියාවලියේදී නිලධාරීන් අතර අනවශ්‍ය ගැටුම් ඇති නොවන පරිදි කටයුතු කිරීමටත් අවධානය යොමු කෙරිණි.
මේ අතර, ප්‍රජාශක්ති ජාතික දත්ත හා තොරතුරු පද්ධතිය සකස් කිරීම අවසන් කර ඇති බැවින් එයට අවශ්‍ය දත්ත කඩිනමින් ඇතුළත් කිරීමට ප්‍රජා සංවර්ධන සභා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් යොමු කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.
එළඹෙන වසරේ ග්‍රාමීය සංවර්ධන සැලැස්ම (VDP) සම්පූර්ණයෙන්ම මෙම දත්ත පද්ධතිය හරහා සකස් කිරීමටද සැලසුම් කර තිබේ.
වැඩසටහන පුත්තලමෙන් ඇරඹේ
ප්‍රජාශක්ති ලේකම් කාර්යාලය මගින් සැලසුම් කර ඇති ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසාය සංවර්ධන වැඩසටහන, ප්‍රජා සංවර්ධන සභා ඇගයීම සහ ප්‍රවර්ධනය, ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන්, ප්‍රජාශක්ති මාර්ගෝපදේශ සංග්‍රහය සහ ප්‍රජා දත්ත සම්පාදන අත්පොත සකස් කිරීම ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද එකඟතාව පළ විය.
එමෙන්ම ප්‍රජාශක්ති වැඩසටහනේ තුන් අවුරුදු උපායමාර්ගික සැලැස්මේ මූලික ව්‍යුහයන් පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
ඉදිරි ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනේ පළමු අදියර සැප්තැම්බර් 2 සහ 3 යන දෙදින තුළ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතා දැනුම් දුන්නේය.
ජාතික මට්ටමේ සියලු ආයතන අතර සමීප සම්බන්ධීකරණයක් ඇති කරමින් ප්‍රජා සවිබල ගැන්වීම සහ සමාජ රැකවරණය සම්බන්ධ ආයතන ජාතික අරමුණු කරා මෙහෙයවීම ප්‍රජාශක්ති වැඩසටහනේ ප්‍රධාන වගකීමක් බව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා අවධාරණය කළේය.



