ප්‍රධාන පුවත්

නියඟයෙන් හානියට පත් වගාවන්ට වන්දි ගෙවීමට ප්‍රතිපාදන වෙන් කෙරේ

නියඟයෙන් හානියට පත් වගාවන්ට වන්දි

දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් වගාවන් සඳහා කඩිනමින් රක්ෂණ වන්දි ලබාදීමට රජය රුපියල් මිලියන 3,000ක මුදලක් වෙන්කර තිබේ.

පවතින එල් නිනෝ තත්ත්වය හමුවේ ඇති වී තිබෙන වියළි කාලගුණය හේතුවෙන් මොණරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අනුරාධපුර සහ අම්පාර යන දිස්ත්‍රික්කවල වී සහ බඩඉරිඟු ඇතුළු වගාවන්ට සැලකිය යුතු හානි සිදුව ඇති බව සඳහන් වේ.

මේ වනවිට ලැබී ඇති තොරතුරුවලට අනුව, අදාළ දිස්ත්‍රික්කවල ගොවීන් 7,000කට ආසන්න පිරිසකට අයත් අක්කර 8,000ක පමණ වගාබිම් ප්‍රමාණයක් හානියට පත්ව ඇත.

වී වගාවට වැඩි බලපෑමක්

වාර්තා වී ඇති දත්ත අනුව වී වගාවෙන් වැඩිම හානියක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය අක්කර 1,923කි.

මොණරාගලින් අක්කර 1,401ක්, පොළොන්නරුවෙන් අක්කර 1,259ක්, අම්පාරෙන් අක්කර 1,055ක් සහ හම්බන්තොටින් අක්කර 783ක් ලෙස වී වගාවට හානි සිදුව තිබේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයාගේ උපදෙස් මත වගා හානි තක්සේරු කිරීමේ කටයුතු මේ වනවිට කඩිනම් කර ඇත.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් ඇතුළු කණ්ඩායම් හානියට පත් වගාබිම් වෙත ගොස් පරීක්ෂණ සිදුකරමින් සිටිති.

බෝග හයකට වන්දි

මෙම සහන වැඩසටහන යටතේ වී, බඩඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, සෝයා සහ මිරිස් යන බෝග සඳහා වන්දි ලබාදීමට නියමිතය.

ඒ අනුව හෙක්ටයාරයකට රුපියල් 100,000 බැගින් වන්දි ගෙවීමට පියවර ගන්නා අතර, එක් ගොවියෙකු සඳහා උපරිම වශයෙන් අක්කර 05ක වගා හානිය වෙනුවෙන් වන්දි ලබාදීමට කටයුතු කෙරේ.

මෙතෙක් තම වගා හානි පිළිබඳව දැනුම් දී නොමැති ගොවීන්ට ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල පවත්වාගෙන යන හානි දැනුම්දීමේ පොතෙහි තොරතුරු සටහන් කරන ලෙස දැනුම් දී තිබේ.

එසේම ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයා හෝ ක්ෂේත්‍ර නිලධාරීන් හමුවී වගා හානි පිළිබඳ තොරතුරු ලබාදිය හැකිය.

වැඩිදුර තොරතුරු සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ 1918 කෙටි ඇමතුම් අංකය ඔස්සේ විමසීම් කළ හැකිය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button