සෞඛ්‍යය

උණුසුම් කාලගුණයෙන් දරුවන්ගේ සෞඛ්‍යයට අවදානමක්

පවතින දැඩි උණුසුම් කාලගුණය සහ පාසල් නිවාඩු සමය හමුවේ දරුවන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව පිළිබඳව දෙමාපියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව වෛද්‍යවරු පෙන්වා දෙති.

පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය සහ පාසල් නිවාඩු සමය හේතුවෙන් දරුවන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් දෙමාපියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

අධික උණුසුම හේතුවෙන් විශේෂයෙන් එළිමහනේ ක්‍රීඩා කරන දරුවන් විජලනයට ලක්වීමේ අවදානම ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දෙයි.

දැඩි අව් රශ්මියෙන් දරුවන්ට අවදානමක්

දීර්ඝ වේලාවක් දැඩි අව් රශ්මියට නිරාවරණය වෙමින් ක්‍රීඩා කිරීම දරුවන්ගේ ශරීරයට අහිතකර බලපෑම් ඇති කළ හැකි බව වෛද්‍යවරයා සඳහන් කරයි.

එවැනි තත්ත්වයන් ඇතැම් අවස්ථාවලදී කම්පන තත්ත්වයන් ඇති කිරීමට මෙන්ම හෘදය සහ මොළය වැනි වැදගත් අවයවවලට බලපෑම් ඇති කිරීමටද හේතු විය හැකි බව ඔහු අනතුරු අඟවයි.

විජලනයේ මූලික ලක්ෂණ ලෙස හිසරදය, වමනය, ඇඟපත වේදනාව, නිදිමත ගතිය, අපහසුතාව, ආහාර අරුචිය සහ මුත්‍රා තද පැහැයට හැරීම දැක්විය හැකිය.

ප්‍රමාණවත් ජලය ලබාදීම වැදගත්

එළිමහනේ ක්‍රීඩා කරන දරුවන්ට ප්‍රමාණවත් ජලය ලබාදීම අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පෙන්වා දෙයි.

ජලයට අමතරව තැඹිලි වතුර, ජීවනී, දෙහි සහ දොඩම් වැනි පාන වර්ග මෙන්ම අඹ, දෙළුම්, කැඳ සහ සුප් වැනි දියර සහිත ආහාර දරුවන්ට ලබාදීම වැදගත් බවද ඔහු සඳහන් කරයි.

හිරු මුදුන් වන වේලාවන්හිදී දැඩි අව් රශ්මියට නිරාවරණය වීමෙන් හැකිතාක් වළකින ලෙසත්, සැහැල්ලු කපු ඇඳුම් සහ හිස්වැසුම් භාවිත කරන ලෙසත් උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම ගස් සෙවණක් හෝ වෙනත් සිසිල් ස්ථානයක විවේක ගැනීමට දරුවන්ට අවස්ථාව ලබාදීමද වැදගත් බව වෛද්‍යවරයා පවසයි.

නිවාඩු සමයේ දෙමාපියන්ගේ අවධානය අවශ්‍යයි

පාසල් නිවාඩුව හේතුවෙන් දරුවන් වැඩි වේලාවක් නිවසේ රැඳී සිටින බැවින් ඔවුන්ගේ දරුවන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව පිළිබඳව දෙමාපියන් මීට වඩා කල්පනාකාරී විය යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button