ප්‍රධාන පුවත්

නෝර්වුඩ් අස්වැසුම මුදල් වංචාවට නිලධාරිනියන් දෙදෙනා රිමාන්ඩ්

නෝර්වුඩ් අස්වැසුම මුදල් වංචාවට නිලධාරිනියන් දෙදෙනා රිමාන්ඩ්

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභීන්ට හිමි රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් වංචා කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් නිලධාරිනියන් දෙදෙනා මෙම මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හැටන් දිසා අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් එස්. පාර්තිබන් මහතා නියෝග කර තිබේ.

හැටන් පොලිස් කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (01) මෙම සැකකාරිනියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔවුන් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශයේ කටයුතු කළ නිලධාරිනියන් බව සඳහන් වේ.

මූලික විගණන පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ 2023, 2024 සහ 2025 වසරවලදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා මුදල් එම නිලධාරිනියන්ගේ ඥාතීන් සහ හිතවතුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් මහතා විසින් හැටන් පොලිස් කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කර තිබේ.

අස්වැසුම දීමනා නොලැබුණු බවට ප්‍රතිලාභීන් විසින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය වෙත නිර්නාමික ලිපියක් යොමු කර තිබූ අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ දිස්ත්‍රික් ලේකම්වරිය සැකකාර නිලධාරිනියන් දෙදෙනා එම දිස්ත්‍රික්කයේ වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මාරු කර තිබුණි.

පසුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ මුදල් අමාත්‍යාංශයේ විගණන නිලධාරීන්ගෙන් සමන්විත 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිදු කළ විගණන පරීක්ෂණයකදී මෙම අස්වැසුම මුදල් වංචාව අනාවරණය වී තිබේ.

විගණන නිලධාරීන් තවදුරටත් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැඳී සිටිමින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතර, එම කාර්යාලයේ ග්‍රාම නිලධාරීන් සහ අස්වැසුම අංශයේ නිලධාරීන් රැසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

සැකකාරිනියන් ලබාදුන් ප්‍රකාශ අනුව මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමටද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය පියවර ගෙන තිබේ.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ප්‍රතිලාභීන්ගේ මුදල් වෙනත් පුද්ගලයන්ගේ ගිණුම්වලට බැර කිරීමෙන් අනතුරුව එම මුදල් සැකකාරිනියන් විසින් ලබාගෙන ඇති බවටයි.

එමෙන්ම අස්වැසුම දීමනා නොලැබුණු බව පවසමින් කාර්යාලයට පැමිණි ප්‍රතිලාභීන්ට මුදල් ලැබුණු පසු ගිණුමට බැර කරන බව පවසා නැවත කාර්යාලයට නොපැමිණෙන ලෙස තර්ජනය කර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

මේ අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අස්වැසුම සහ සමෘද්ධි ප්‍රතිලාභ සම්බන්ධයෙන්ද මෙවැනි වංචා සිදුවී ඇත්දැයි සොයා බැලීම සඳහා කඩිනම් විගණනයක් සිදු කිරීමට පියවර ගනිමින් සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා සඳහන් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button