ප්‍රධාන පුවත්

සංචාරක සංවර්ධන අරමුදල් 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජුව

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සංචාරක සංවර්ධන අරමුදල් 2027 වසරේ සිට දිස්ත්‍රික් මට්ටමින් සෘජුව ලබාදීමට රජය තීරණය කර තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයට අදාළ ගැටලු විසඳීම සහ විදේශ රැකියා ක්ෂේත්‍රයට අවශ්‍ය කුසලතා සහිත ශ්‍රමිකයින් බිහිකිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (01) අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා සඳහන් කළේ වාර්ෂිකව සංචාරකයින් මිලියන පහක ඉලක්කය සපුරා ගැනීම සඳහා පවතින අරමුදල් වෙන් කිරීමේ ක්‍රමවේදය වෙනස් කරන බවයි.

ඒ අනුව අමාත්‍යාංශය හරහා මුදල් වෙන් කිරීම වෙනුවට 2027 වසරේ සිට මුදල් අමාත්‍යාංශය හරහා දිස්ත්‍රික්ක වෙත සෘජුව අරමුදල් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

දිස්ත්‍රික් මට්ටමින් සංචාරක ක්ෂේත්‍රයේ ගැටලු කඩිනමින් විසඳීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආයතන, වනජීවී, පුරාවිද්‍යා සහ පොලිසිය ඇතුළත් අනුකමිටුවක් පත් කිරීමටද තීරණය කර ඇත.

එම කමිටුව මාස දෙකකට වරක් රැස්වී සංචාරක ක්ෂේත්‍රයේ පවතින ගැටලු හඳුනාගෙන අවශ්‍ය විසඳුම් ලබාදීමට නියමිතය.

අම්පාර දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ආරුගම්බේ “සන්සෙට් වීව්” සංචාරක ස්ථානය සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 173ක මුදලක් වෙන් කර තිබේ.

එමෙන්ම අභාවයට යමින් පවතින රජයේ විශ්‍රාම නිකේතන පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් සංචාරක හෝටල් ලෙස පවත්වාගෙන යාමටද සැලසුම් කර ඇත.

නැගෙනහිර පළාතේ ඉඩම් ගැටලු විසඳීම සහ වෙරළ තීරයේ නීති විරෝධී ලෙස අත්පත් කරගෙන ඇති ඉඩම් නිදහස් කර සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීම වෙනුවෙන් විශේෂ කැබිනට් කමිටුවක්ද පත් කර තිබේ.

විදේශ රැකියා ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින් බිහිකිරීමේ අරමුණින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයක් ලබන වසරේදී අම්පාරේ ස්ථාපිත කිරීමටද පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා හෝටල් පාසල සහ සමෘද්ධි අමාත්‍යාංශය එක්ව අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන්ට නොමිලේ සංචාරක ක්ෂේත්‍රයේ පාඨමාලා ලබාදී රැකියා අවස්ථා සලසාදීමේ වැඩසටහනක්ද අම්පාරෙන් ආරම්භ කිරීමට නියමිතය.

මෙම සාකච්ඡාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා බලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button