උණුසුම් පුවත්

ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

ධීවර හා නාවික ප්‍රජාව බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

එම අඩු පීඩන කලාපය ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් වර්ධනය විය හැකි බවත්, එහි බලපෑම හේතුවෙන් බෙංගාල බොක්කේ මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යා හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ඉදිරියේදී නිකුත් කෙරෙන කාලගුණ නිවේදන සහ අනාවැකි පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා ඇත.

කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

එමෙන්ම දිවයින වටා අනෙකුත් මුහුදු ප්‍රදේශවලද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

සුළං නිරිත දිශාවෙන් හමා එන අතර එහි වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර පමණ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකිය.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවලද සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා වැඩි විය හැකි බව සඳහන් වේ.

එම තත්ත්වය හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0ත් 2.5ත් අතර පමණ ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button