
දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්
දූෂණ විරෝධී පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් 15ක විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කර තිබේ.
අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාගත් රහසිගත නිගමනය ඉදිරියේදී පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව විනිසුරු මඩුල්ල දැනුම් දී ඇත.
මෙම පෙත්සම් දින දෙකක් පුරා ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණිනි.
අද (04) වාචික කරුණු දැක්වීම් අවසන් කිරීමෙන් අනතුරුව, ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට අවශ්‍ය පාර්ශ්වයන්ට ඒවා සෙනසුරාදා පස්වරු 12.00ට පෙර ගොනු කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
ඉන් අනතුරුව දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර ඇත.
හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, මීඩියා ලෝ ෆෝරම් සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු පාර්ශ්ව 15ක් විසින් මෙම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ගොනු කර තිබුණි.
පෙත්සම්කරුවන් පෙන්වා දී තිබුණේ යෝජිත සංශෝධන මඟින් අධිකරණ බලයට බලපෑමක් එල්ල වීම මෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ අවදානමක් පවතින බවය.
ඒ අනුව, දූෂණ විරෝධී පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත කළ යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.



