ප්‍රධාන පුවත්

ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ගැන COPF අවධානය

ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) අවධානය යොමුවී තිබේ.

විගණන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නවීන තාක්ෂණය සහ දත්ත විශ්ලේෂණ මෙවලම් පුළුල් ලෙස යොදා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.

එමෙන්ම දක්ෂ මානව සම්පත් සේවයේ රඳවා ගැනීම සහ රාජ්‍ය ආයතනවල විගණන කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී තිබේ.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නොපැමිණ සිටීම හේතුවෙන්, ස්ථාවර නියෝග අනුව තාවකාලික සභාපතිවරයා ලෙස පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ සභාපතිත්වයෙන් මෙම රැස්වීම පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය ද ඊට සහභාගී වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්වීමට එක්වී තිබේ.

ජාතික විගණන කාර්යාලයේ විගණන කටයුතු නවීන තාක්ෂණය හා දත්ත විශ්ලේෂණ මෙවලම් භාවිතයෙන් සිදු කිරීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් අවධාරණය කර ඇත.

විගණන ක්‍රියාවලිය තාක්ෂණික වශයෙන් නවීකරණය කිරීම මඟින් එහි කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට හැකි වන අතර, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් වඩාත් පුළුල් අධීක්ෂණයක් සිදු කිරීමටද හැකියාව ලැබෙන බව එහිදී පෙන්වා දී තිබේ.

මේ අතර, විගණන සේවයට බඳවා ගන්නා දක්ෂ නිලධාරීන් පුහුණුවෙන් පසු වෙනත් අංශ වෙත යොමුවීම හේතුවෙන් ඇති වී තිබෙන මානව සම්පත් රඳවා ගැනීමේ ගැටලුව පිළිබඳවද සාකච්ඡා කර ඇත.

දක්ෂ විගණන නිලධාරීන් සේවයේ රඳවා ගැනීම සඳහා සුදුසු දීමනා ක්‍රමවේදයක් හඳුන්වාදීමේ අවශ්‍යතාවද කාරක සභාවේදී අවධාරණය වී තිබේ.

රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර පාලන පද්ධතිවල පවතින දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමේ වැදගත්කම පිළිබඳවද අවධානය යොමු වී ඇත.

විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීම අදාළ රාජ්‍ය ආයතනවල වගකිවයුතු නිලධාරීන්ගේ වගකීමක් බවද කාරක සභාව පෙන්වා දී තිබේ.

සමෘද්ධි බැංකු විගණනයේදී මතුවන ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර, එම විගණන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක සහ නීතිමය සංශෝධන සලකා බැලීමේ අවශ්‍යතාවද පෙන්වා දී ඇත.

තවද, විගණන ක්‍රියාවලිය නවීකරණය කිරීමේදී පැහැදිලි ප්‍රතිඵල මත පදනම් වූ සැලැස්මක් සකස් කර, කාර්ය මණ්ඩල අවශ්‍යතා සහ සම්පත් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම වැදගත් බව කාරක සභා සභාපතිවරයා අවධාරණය කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button