ප්‍රධාන පුවත්

රාජ්‍ය සේවක වැටුප් කොමිෂන් සභාවේ වැඩ ඇරඹෙයි

රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් සහ රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පිහිටුවන ලද රාජ්‍ය සේවක වැටුප් කොමිෂන් සභාවේ සිය නිල කටයුතු අද (04) ආරම්භ කළේය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිෂන් සභා කාර්යාලයේදී එහි වැඩ කටයුතු ආරම්භ වූ අතර, මෙම කොමිෂන් සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ 2026 අයවැය යෝජනාවකට අනුව ස්ථාපිත කර තිබේ.

2026 ජූනි 22 දිනැති අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කර ඇති අතර, එහි සභාපති ලෙස විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් අශෝක පිරිස් මහතාත්, ලේකම් ලෙස නාලක දිසානායක මහතාත් කටයුතු කරයි. සාමාජිකයන් 15 දෙනෙකුගෙන් මෙම කොමිෂන් සභාව සමන්විත වේ.

රාජ්‍ය සේවක වැටුප් කොමිෂන් සභාව වෙත රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටලු සඳහා විසඳුම් යෝජනා කිරීම, රාජ්‍ය සේවයේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සහ නව තාක්ෂණික හා ගෝලීය ප්‍රවණතාවලට ගැළපෙන පරිදි රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම පවරා ඇත.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසුවේ, රාජ්‍ය සේවක වැටුප් ගැටලු සම්බන්ධයෙන් වසර 20කට පසු මෙවැනි කොමිෂන් සභාවක් පිහිටුවන බවත්, විශ්‍රාමිකයන්ගේ ගැටලු සඳහා කොමිෂන් සභාවක් පත් කළ පළමු අවස්ථාව මෙය බවත්ය.

තවද, රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සහ දිගුකාලීන ගැටලු සඳහා සමස්ත රාජ්‍ය සේවයටම සාධාරණ වන විද්‍යාත්මක විසඳුම් ඉදිරිපත් කිරීම මෙම කොමිෂන් සභාවේ ප්‍රධාන අරමුණ බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button