
ඉන්දියාවෙන් ඩෙංගු මර්දනයට මැලතියන් ලීටර් 500ක පරිත්‍යාගයක්
ඩෙංගු මර්දනයට මැලතියන් තොගයක් ලෙස තාක්ෂණික ශ්‍රේණියේ මැලතියන් ලීටර් 500ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.
මෙම පරිත්‍යාගය අද (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් නිල වශයෙන් භාරදී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙම පරිත්‍යාගය මෙරට ඩෙංගු මර්දන වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය තාක්ෂණික සහායක් සපයන අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මහජන සෞඛ්‍ය ක්ෂේත්රයේ දිගුකාලීන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන පියවරක් බවයි.
අවදානම් ප්‍රදේශවල ධූමායන සඳහා භාවිතයට
විද්‍යාත්මක අධ්‍යයනවලට අනුව, ඇතැම් ප්‍රදේශවල ඩෙංගු වාහක මදුරුවන් දැනට භාවිත කරන කෘමිනාශක කිහිපයකට ප්‍රතිරෝධීතාව වර්ධනය කරගෙන ඇති බැවින්, විකල්ප කෘමිනාශක භාවිතය ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබේ.
ඒ අනුව ඉන්දියාවෙන් ලැබුණු ඩෙංගු මර්දනයට මැලතියන් තොගය අවදානම් ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන ධූමායන වැඩසටහන් සඳහා යොදා ගැනීමට නියමිත අතර, වැඩිහිටි ඩෙංගු වාහක මදුරුවන්ගේ ඝනත්වය කඩිනමින් අඩු කිරීම එහි ප්‍රධාන අරමුණ වේ.
මැලතියන් පිළිබඳ විස්තර
තාක්ෂණික ශ්‍රේණියේ මැලතියන් යනු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුකූලව දශක ගණනාවක් තිස්සේ රෝග වාහක මදුරු මර්දන වැඩසටහන් සඳහා භාවිත කරන ඔර්ගැනොෆොස්ෆේට් කාණ්ඩයේ කෘමිනාශකයකි.
මෙය නිර්දේශිත සාන්ද්‍රණයට අනුව ද්‍රාවක සමඟ මිශ්‍ර කර විශේෂ ධූමායන යන්ත්‍ර මගින් පරිසරයට මුදා හරින අතර, පියාසර කරන මදුරුවන් කෙටි කාලයක් තුළ විනාශ කිරීමට එය උපකාරී වේ.
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අදහස්
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, අවදානම් ප්‍රදේශ ඉලක්ක කර ධූමායන කටයුතු විධිමත්ව ක්‍රියාත්මක කිරීම ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ වැදගත් ක්‍රියාමාර්ගයක් බවයි.
මෙරට තුළ පසුගිය කාලය පුරා මැලතියන් හිඟයක් පැවති බැවින්, ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා අවශ්‍ය මැලතියන් ලබාදෙන ලෙස ඉන්දීය රජයෙන් හදිසි ඉල්ලීමක් කළ බවත්, ඒ සඳහා ඉන්දීය රජය කඩිනමින් ප්‍රතිචාර දක්වමින් දින කිහිපයක් ඇතුළත මැලතියන් ලීටර් 500ක තොගය පරිත්‍යාග කළ බවත් ඔහු සඳහන් කළේය.
නවතම ඩෙංගු තත්ත්වය
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනුව, මෙම වසරේ ජනවාරි 1 සිට මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 86,947 දෙනෙකු වාර්තා වී තිබේ.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර එය 29,975කි. බස්නාහිර පළාතෙන් පමණක් රෝගීන් 45,976 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඩෙංගු මරණ 62ක් සහ අධි අවදානම් කලාප 137ක් තවදුරටත් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.



