
මෙට්‍රෝ බස් සේවයේ අරමුණ ගැන ජනපති ලේකම්ගෙන් ප්‍රකාශයක්
නව පොදු ප්‍රවාහන සංස්කෘතියක් ගොඩනැගීම මෙට්‍රෝ බස් සේවය හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණ බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ තලංගම ඩිපෝව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙට්‍රෝ බස් සේවයේ තලංගම ඩිපෝව විවෘත කිරීම අද (04) පෙරවරුවේ සිදු කෙරුණු අතර, එම අවස්ථාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා,
“ඇත්තටම අපි මේ කරන්නේ අලුත් බස් ගෙනල්ලා හඳුන්වාදීමක් නෙමෙයි. ඊට එහා ගිය ලොකු සංකල්පයක් මේ තුළ තියෙනවා. ඒක තමයි නව පොදු ප්‍රවාහන සංස්කෘතියක් ඇති කිරීම. අපි හදන්නේ අලුත් සංස්කෘතියක්, ප්‍රවාහන සංස්කෘතියක් බිහි කරන්න. ඒ සංස්කෘතිය තුළ ඔබට සැප පහසු බස් තියෙනවා, ඒ සංස්කෘතිය තුළ ඔබ ගැන හිතන රියදුරෙක් සහ කොන්දොස්තරවරයෙක් ඉන්නවා, ඒ සංස්කෘතිය තුළ ඔබට මනුෂ්‍යයෝ කියලා සලකන රියදුරෙක් සහ කොන්දොස්තරවරයෙක් ඉන්නවා, ඒ සංස්කෘතිය තුළ යන්න ප්‍රියමනාප බස් එකක් තියෙනවා, ඒ සංස්කෘතිය තුළ ඔබේ ගමනේ ආරක්ෂාව ලැබෙනවා. ඉතිං අපි ඒ සංස්කෘතිය අපි හමාර කරන්නේ තනි පුද්ගලයෙක් එළවගෙන යන කාර් රථ දහස් ගාණක අයත් මේ පොදු ප්‍රවාහන සේවය භාවිතා කරමින් ඔවුන්ටත් පහසුවෙන් යන්න පුළුවන් පොදු ප්‍රවාහන සංස්කෘතියක් බිහි කිරීම තමයි අපේ අවසාන පරමාර්ථය. ඒක තමයි මේ සංස්කෘතියේ අවසානය.”
ඒ අනුව, මෙට්‍රෝ බස් සේවය හරහා නව බස් රථ හඳුන්වාදීමකට පමණක් සීමා නොවී, මගීන්ට පහසු, ආරක්ෂිත සහ ගුණාත්මක පොදු ප්‍රවාහන අත්දැකීමක් ලබාදෙන නව සංස්කෘතියක් ගොඩනැගීම අපේක්ෂා කරන බව ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ.



