
දිලිත්ගේ රිට් පෙත්සම අභියාචනාධිකරණයෙන් නිෂ්ප්‍රභයි
දිලිත්ගේ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (30) නියෝග කළේය.
අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා තමන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නිගමනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා මෙම රිට් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
කෙසේ වෙතත්, මෙම නියෝගය හේතුවෙන් අධිකරණයට අපහාස නොකළ බවට ප්‍රධාන නඩුවේදී පෙත්සම්කරු ඉදිරිපත් කරන ස්ථාවරයට කිසිදු අගතියක් සිදු නොවන බව විනිසුරු මඩුල්ල අවධාරණය කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සමන්විත විය.
නියෝගය ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා සඳහන් කළේ, කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයට යොමුකර ඇති නිගමනය අවසානාත්මක එකක් නොවන බවය.
එම නිගමනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය කරුණු විමර්ශනය කරන අතර, බැලූ බැල්මට නඩු නිමිත්තක් පවතින බව තහවුරු වුවහොත් පමණක් වගඋත්තරකාර පාර්ශ්වයට සිතාසි නිකුත් කරන බවද විනිසුරුවරයා සඳහන් කළේය.
2024 අංක 08 දරන අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පනතේ ප්‍රතිපාදන යටතේ මහෙස්ත්‍රාත්වරයාට එවැනි නිගමනයක් අධිකරණයට යොමු කිරීමට හැකියාව පවතින බවද අභියාචනාධිකරණය පෙන්වා දී තිබේ.
ඒ අනුව දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කළ පෙත්සම තුළ බැලූ බැල්මට නඩු නිමිත්තක් අනාවරණය නොවන බැවින් එය නිෂ්ප්‍රභ කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේය.
මේ අතර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ගොනුකර ඇති අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ලද අද අභියාචනාධිකරණයේදී කැඳවනු ලැබීය.
එහිදී විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අසංග නවරත්න, මහින්ද පතිරණ, සුගීශ්වර බණ්ඩාර සහ දිලිත් ජයවීර යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන අලි සබ්රි, මනෝහර ද සිල්වා සහ වී.කේ. චොක්සි යන මහත්වරු කරුණු ඉදිරිපත් කළහ.
තම සේවාදායකයින්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිතාසි නිකුත් කිරීමට තරම් නඩු නිමිත්තක් මහෙස්ත්‍රාත්වරයා ඉදිරිපත් කළ පැමිණිල්ල තුළ බැලූ බැල්මට නොමැති බව ඔවුහු පෙන්වා දුන්හ.
මහෙස්ත්‍රාත්වරයාගේ නිගමනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර තම සේවාදායකයින් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසද ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේ තමන් මෙම නඩුකරයේදී අධිකරණයට සහාය වෙමින් කටයුතු කරන බවය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, නඩුකරයට අදාළ සංස්කරණය නොකළ සියලු වීඩියෝ දර්ශන මීළඟ නඩු දිනයට පෙර අධිකරණයට කැඳවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණ ලේඛකාධිකාරීවරයාට නියෝග කළේය.
අදාළ පැමිණිල්ල ඔක්තෝබර් 07 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය දින නියම කළේය.



