
ප්‍රධාන පුවත්
දක්ෂිණ අධිවේගීයේ කොටසක රථවාහන එක් මංතීරුවකට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සිට දොඩංගොඩ දක්වා කොටසේ මාතර දෙසට දිවෙන මංතීරුවේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් රථවාහන ධාවනය තාවකාලිකව එක් මංතීරුවකට සීමා කර ඇති බව පොලීසිය නිවේදනය කරයි.
අද (01) දිනයේ කිලෝමීටර් 17 සිට 19 දක්වා සහ 28 සිට 30 දක්වා කොටස්වල නඩත්තු කටයුතු සිදුකරන අතර, එම නිසා මාතර දෙසට ගමන් කරන වාහන සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව, අදාළ කොටස් දෙකෙහි රථවාහන කොළඹ දෙසට පවතින මංතීරු දෙක භාවිත කරමින් දෙපසටම ගමන් කළ හැකි පරිදි මාර්ගය බෙදා වෙන් කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් අදාළ ප්‍රදේශ ආසන්නයේ රථවාහන තදබදයක් ඇතිවීමේ සහ අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බැවින්, එම මාර්ගය භාවිත කරන රියදුරන් වැඩි අවධානයෙන් සහ සැලකිල්ලෙන් රිය ධාවනය කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.



