ප්‍රධාන පුවත්

ඌරුබොක්කෙන් විශාල භූගත ජල මූලාශ්‍රයක් හමුවෙයි

ඌරුබොක්ක නගර මධ්‍යයේ මනන්කැටිය ප්‍රදේශයෙන් විශාල භූගත ජල මූලාශ්‍රයක් සොයාගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මෙම සොයාගැනීම ඊයේ (30) සිදුකර ඇති අතර, එය මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන දැඩි පානීය ජල අර්බුදයට දිගුකාලීන විසඳුමක් විය හැකි බව සඳහන් වේ.

පසුගිය කාලය පුරාම කුඩා වියළි කාලසීමාවකදී පවා ඌරුබොක්ක සහ අවට ප්‍රදේශවල ළිං ජලය සිඳී යාමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවකට මුහුණ දී තිබුණි. ඒ හේතුවෙන් බවුසර් මගින් ජලය බෙදාහැරීම සිදුකළද, මෙවර එම පහසුකමද ප්‍රමාණවත් නොවූ බව ප්‍රදේශවාසීන් චෝදනා කර තිබේ.

මෙම ජල හිඟය හේතුවෙන් ඌරුබොක්ක නගරය, දම්පහල මාර්ගය, හුලංකන්ද පාර, හීගොඩ පාර, අමුහේන්ගොඩ, හොරගස්මන්ඩිය, කටුවන පාර සහ කීරපිටිය පාර ඇතුළු ගම්මාන රැසක ජන ජීවිතය දැඩි ලෙස බලපෑමට ලක්විය. එමෙන්ම හීගොඩ රෝහල සහ හුලංකන්ද, පට්ටිගල, කීරපිටිය, ගින්නලිය හා බෙරලපනාතර පාසල්වල දෛනික කටයුතුද අඩාල වී තිබූ බව වාර්තා වේ.

පස්ගොඩ ප්‍රාදේශීය සභාවට අනුව, පවුල් 10,000කට අයත් පුද්ගලයින් 50,000කට වැඩි පිරිසක් මෙම ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටියහ. එවැනි තත්ත්වයක් මධ්‍යයේ ප්‍රාදේශීය සභාව කළ ඉල්ලීමකට අනුව මෙම භූගත ජල මූලාශ්‍රය සොයාගැනීමට හැකි වූ බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ දකුණු පළාත් භාර භූ විද්‍යාඥ ඉන්ද්‍රජිත් ගමගේ මහතා ප්‍රකාශ කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button