ප්‍රධාන පුවත්

තෙල්දෙණිය ඝාතන සැකකරුවන්ගේ මූල්‍ය වංචා රැසක් අනාවරණයවේ

තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළින් කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරුවා සහ ඔහුගේ බිරිඳ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී, දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකර ඇති බව කියන මහා පරිමාණ මූල්‍ය වංචා සහ අපරාධ රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

නුවරඑළිය මූලස්ථාන පොලීසිය විසින් සිදුකළ විශේෂ විමර්ශනයකදී මෙම කරුණු හෙළිවී ඇති අතර, ඒ සම්බන්ධ වාර්තාවක් නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, මාධ්‍ය ප්‍රකාශකවරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයා වෙත යොමු කර ඇත.

පසුගිය ජූනි 17 වැනිදා වාර්තා වූ මෙම ඝාතන සිද්ධියෙන් අනතුරුව සිදුකළ පුළුල් පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම තොරතුරු අනාවරණය වී ඇත.

විමර්ශනවලට අනුව, කොස්ගොල්ල, හොරොම්බාව ප්‍රදේශයේ පදිංචි චම්පික ශ්‍රීයාන් ජයසුන්දර නැමැත්තා ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහුගේ බිරිඳ වන නෙත්මි අමායා රත්නායක ද මෙම වංචා ක්‍රියා සම්බන්ධයෙන් සෘජුව සම්බන්ධ වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

ප්‍රධාන සැකකරුට එරෙහිව විවාහ වන බව පවසා කාන්තාවන් රැවටීම, විදේශ වාහන ගෙන්වා දෙන බවට සහ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී මුදල් වංචා කිරීම ඇතුළු චෝදනා යටතේ දිවයිනේ අධිකරණ කිහිපයක නඩු විභාග වෙමින් පවතී.

ඒ අනුව, ගම්පහ මහාධිකරණයේ රුපියල් 11.8 මිලියනකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධ නඩුවක්ද, අලුත්කඩේ අධිකරණවල රුපියල් මිලියන ගණනක මුදල් වංචා සම්බන්ධ නඩු කිහිපයක්ද පවතින බව අනාවරණය වී තිබේ.

එමෙන්ම, තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයේ විදේශ රටවලින් වාහන ගෙන්වන බව පවසා මුදල් වංචා කිරීම සම්බන්ධ නඩුද, විදේශගත කරන බවට පොරොන්දු වී සිදුකළ බව කියන වංචා සම්බන්ධ නඩුවක්ද විභාග වෙමින් පවතී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ද අලුත්කඩේ, හොරණ සහ කඩුවෙල අධිකරණවල ඔහුට එරෙහිව නඩු කිහිපයක් පවත්වාගෙන යන බව පොලිස් වාර්තාවල සඳහන් වේ.

තවද, දත්ත පද්ධති පරීක්ෂාවලදී 2023 නොවැම්බර් මාසයේදී පෑලියගොඩ පොලීසිය සහ වංචා විමර්ශන අංශය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත්, මීට පෙරද මුදල් වංචා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විමර්ශන සිදුකර ඇති බවත් අනාවරණය වී ඇත.

මේ අතර, නෙත්මි අමායා රත්නායකට එරෙහිවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය, පෑලියගොඩ පොලීසිය, ජා-ඇල පොලීසිය ඇතුළු ආයතන කිහිපයක් මගින් විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ.

විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් 2.5 මිලියනක මුදලක් වංචා කළ බවට ලැබී ඇති පැමිණිල්ලක් ද ඇය සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button