ප්‍රධාන පුවත්

ඩොලර් මිලියන 2.5 සයිබර් වංචාව ගැන පාර්ලිමේන්තුවේ විවාදයක්

ඩොලර් මිලියන 2.5 සයිබර් වංචාව 

ඔස්ට්‍රේලියාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ණය මුදලක් ආපසු ගෙවීමේදී සිදුවූ බව කියන සයිබර් අපරාධමය වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ අවස්ථාවේ විවාදය අගෝස්තු 05 වැනිදා පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.

අගෝස්තු 04 සිට 07 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ අගෝස්තු 05 වැනිදා හැර අනෙකුත් දිනවල පෙරවරු 9.30 සිට 10.00 දක්වා ස්ථාවර නියෝග 22(1) සිට 22(6) දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා කාලය වෙන් කර ඇති බවයි.

එමෙන්ම පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහාත් කාලය වෙන් කර තිබේ.

අගෝස්තු 04 වැනිදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ පරිපූරක ඇස්තමේන්තුව සහ විගණකාධිපතිවරයාගේ වැටුප තීරණය කිරීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

එදින පස්වරු 5.00 සිට 5.30 දක්වා ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කරන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනේ.

අගෝස්තු 05 වැනිදා පෙරවරු 10.00 සිට 10.30 දක්වා අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහාත්, පෙරවරු 10.30 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත් කාලය වෙන් කර ඇත.

අගෝස්තු 06 වැනිදා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) සහ සත්ත්ව (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකෙහි දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත්, එම පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වැනි වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් නොවන්නේ නම් පමණක් අදාළ විවාදය පැවැත්වෙනු ඇත.

අගෝස්තු 07 වැනිදා පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට නියමිත අතර, එදින පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල්තැබීමේ අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button