
එල් නීනෝ නිසා ශ්‍රී ලංකාවට දැඩි බලපෑම්? විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්
එල් නීනෝ සංසිද්ධිය ඉදිරියේදී ප්‍රබල තත්ත්වයට පත්වුවහොත් ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් රැසකට දැඩි කාලගුණික බලපෑම් එල්ල විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා අනතුරු අඟවයි.
ඔහු සඳහන් කළේ පැසිෆික් සාගර කලාපයේ ආරම්භ වී ඇති මෙම එල් නීනෝ සංසිද්ධිය මේ වනවිට දුර්වල මට්ටමක පැවතියද, ඉදිරියේදී වේගයෙන් ප්‍රබල වීමේ හැකියාවක් පවතින බවට පුරෝකථන නිකුත් වී ඇති බවය.
ඒ අනුව දිවයිනේ ප්‍රදේශ රැසක මේ වනවිටත් දැඩි වියළි කාලගුණික තත්ත්වයක් පවතින අතර, ජල මූලාශ්‍ර රැසක් සිඳී යාම හේතුවෙන් කෘෂිකාර්මික කටයුතු දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති බව ගොවීහු පෙන්වා දෙති.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර මහ කන්නයේ වී වගාව ඔක්තෝබර් මාසයේ මුල් සතියේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
අනෙක් අතට, පවතින වියළි කාලගුණික තත්ත්වය අවසන් වන තෙක් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ අතර, එල් නීනෝ හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වනවිට සකස් කරමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ රජයේ මුදල් කාරක සභාවේදී ආපදා සූදානම්කම පිළිබඳ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
එහිදී පාර්ලිමේන්තුව විසින් ව්‍යවස්ථාපිතව පිහිටුවා ඇති ආපදා කළමනාකරණ අරමුදල තවමත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර නොමැති බවද වැඩිදුරටත් අනාවරණය විය.



