ප්‍රධාන පුවත්

ඩුබායිහි සැඟව සිටි ගල්කිස්සේ හිටපු පොලිස් නිලධාරියා CID අත්අඩංගුවට

ඩුබායිහි සැඟව සිටි ගල්කිස්සේ හිටපු පොලිස් නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන විත් තිබේ.

ඩුබායිහි සැඟව සිටි ගල්කිස්සේ හිටපු පොලිස් නිලධාරියා ටී-56 ගිනිඅවියක් සොරකම් කිරීමේ චෝදනාවකට දිවයිනට රැගෙන එයි

ගල්කිස්ස පොලීසියට අනුයුක්තව පොලිස් මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටියදී තමන්ට නිකුත් කර තිබූ රාජකාරී ටී-56 ගිනිඅවිය සොරකම් කර එය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වෙත ලබාදීමේ චෝදනාවට මෙම සැකකරු සම්බන්ධ බව වාර්තා වේ.

අනතුරුව ඔහු ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිට ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් එක්ව සිදුකළ මෙහෙයුමකින් පසු ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (26) අලුයම 5.20ට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL-226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය.

ජයකොඩි ආරච්චිගේ කවිඳු ආකාශ් ජයකොඩි නමැති මෙම සැකකරු 26 හැවිරිදි තරුණයෙකු වන අතර, ඔහු අනුරාධපුරය, පේමඩුව, හැලඹගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු භාරයට ගෙන ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඉන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන යාමට නියමිත බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button