ප්‍රධාන පුවත්

තැඹිලි පැහැයෙන් ආලෝකමත් වූ පාර්ලිමේන්තුවේ විශේෂ වැඩසටහන

තැඹිලි පැහැයෙන් ආලෝකමත් වූ පාර්ලිමේන්තුවේ විශේෂ වැඩසටහන

කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන දින 16ක ගෝලීය වැඩසටහනට සහයෝගය පළ කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද (25) තැඹිලි පැහැයෙන් ආලෝකමත් කර තිබේ.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ දින 16ක ගෝලීය වැඩසටහනට පාර්ලිමේන්තුවේ සහය

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) සහයෝගය ඇතිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් මෙම විශේෂ වැඩසටහන් මාලාව සංවිධානය කර ඇත.

මෙම ගෝලීය ව්‍යාපාරයට පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සභාවට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ඒ සඳහා සහයෝගය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ කථානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ ලාංඡන පැළඳවීම ද සිදුකර ඇත.

එමෙන්ම මන්ත්‍රීවරුන්, මන්ත්‍රීවරියන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන් තැඹිලි පැහැති හෝ තැඹිලි පැහැය ඇතුළත් ඇඳුමින් සැරසී මෙම වැඩසටහනට එක්ව සිටියහ.

2026 වසරේ ගෝලීය ව්‍යාපාරයේ තේමාව ලෙස “කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීම වෙනුවෙන් එක්සත් වෙමු: යුක්තිය තහවුරු කරමු, හිංසනයට ලක් වූවන් සුරකිමු, දඬුවම් නොලැබීම දුරලමු” යන්න නම් කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ “This is my right” යන තේමාව යටතේය.

මේ අතර, වැඩසටහනට සමගාමීව අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂ නායකවරයා, කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය වැළැක්වීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සාමූහික මැදිහත්වීමේ අවශ්‍යතාව අවධාරණය කළහ. ඒ සඳහා නීතිමය සහ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම ද ඔවුහු පෙන්වා දුන්හ.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය යෙදෙන නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදාට යෙදෙන මානව හිමිකම් දිනය දක්වා මෙම දින 16ක ගෝලීය ව්‍යාපාරය ක්‍රියාත්මක වේ.

ඊට සමගාමීව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ද දින 16ක් පුරා විශේෂ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button