ප්‍රධාන පුවත්

GMOA වැඩවර්ජනයට එක්වන්නේද? අවසන් තීරණය අනිද්දා

GMOA වැඩවර්ජනයට එක්වනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අනිද්දා (27) ප්‍රකාශයට පත්කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

GMOA වැඩවර්ජනයට සහභාගී වීම ගැන මධ්‍යම කාරක සභාව තීරණය කරයි

එළැඹෙන වසරේ අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සහන ලබා නොදීමට විරෝධය පළකරමින් ලබන 30 වැනිදා පැවැත්වීමට නියමිත වැඩවර්ජනයට සහභාගී වීම සම්බන්ධයෙන් එම සංගමය මෙම තීරණය ගැනීමට නියමිතය.

සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා සඳහන් කළේ අනිද්දා පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව ඒ පිළිබඳ අවසන් තීරණයකට එළැඹෙන බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතයින් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා මෙසේ පැවසීය.

“අද දිනයේදී අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ එහි නායකත්වය සහ නියෝජිතයන් හමුවෙලා රජයේ වෛද්‍යාධාර සංගමය වශයෙන් අපි අයවැය සම්බන්ධව දරන අදහස් ඔවුන් සමඟ හුවමාරු කරගත්තා. රජය උත්සාහ කරනවා වෛද්‍යවරුන්ට රුපියල් 25,000ක් වැටුප් වැඩිවීමක් සපයලා තියෙනවා. ඒක මදි කියලා තමයි වෛද්‍යවරුන් මේ අවස්ථාවේදී වැඩි වැටුප් සහ දීමනා ඉල්ලලා තමයි සටන් කරන්නේ කියලා ප්‍රචාරයක් අරගෙන යනවා. එතකොට මේක ඉතාම අගතිගාමී වැඩපිළිවෙළක්.”

ලබන 30 වැනිදා ගුරුවරුන් ඇතුළු රාජ්‍ය සේවකයින් වැඩවර්ජනයකට සූදානම් වන පසුබිමක, විසඳුමක් නොලැබුණහොත් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද ඔහුගෙන් විමසා තිබුණි.

ඊට පිළිතුරු දෙමින් සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

“ඒ කාරණය අපේ තීරණය වෙන්නේ 27 වෙනිදා තියෙනවා මධ්‍යම කාරක සභා රැස්වීමක්. ඒ රැස්වීමේදී ලංකා පුරාම විහිදිලා තියෙන ශාඛා සමිති ජාලයෙන් අපේ නියෝජිතයන් සහභාගි වෙනවා. එහිදී තමා තීරණය වන්නේ අවසානයේ අපි කරන්නේ මොකක්ද කියලා. 27ට කලින් විසඳුමක් දුන්නොත් හොඳයි. සාකච්ඡාවක් ලැබුණොත් හොඳයි. අපි කිසිම අවස්ථාවක අයවැය කාලයට පමණක් මේ ගැටලු සීමා කරන්නේ නැහැ. සාමාන්‍ය රෝගීන්ගෙන් ගැලවිලා ඔවුන්ට ගැටලුවක් ඇති නොවන පරිදි රජයට දැනෙන දෙයක් කරන්නා. නමුත් අවසානයේදී රජය උත්සාහ කරයි සාමාන්‍ය රෝගීන් බිල්ලට දෙන්න.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button