
පළමු මාස 10 තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 6%කින් ඉහළට
2026 වසරේ පළමු මාස 10 තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 6%කට වැඩි ප්‍රතිශතයකින් වර්ධනය වී තිබේ. ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ භාණ්ඩ හා සේවා අපනයනයෙන් උපයා ඇති සමස්ත ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 15.28ක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 15.28ක් දක්වා ඉහළට
2025 වසරේ එම කාලසීමාව තුළ වාර්තා වූ අමෙරිකානු ඩොලර් බිලියන 14.41ක ආදායම සමඟ සැසඳීමේදී මෙවර 6.03%ක වර්ධනයක් පෙන්නුම් කරයි.
ශ්‍රී ලංකා රේගුවේ නවතම දත්තවලට අනුව, භාණ්ඩ අපනයනයෙන් ලැබූ ආදායම ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. ඒ අනුව පසුගිය වසරේ මුල් මාස 10 තුළ වාර්තා වූ අමෙරිකානු ඩොලර් බිලියන 11.36ක ආදායම මෙවර බිලියන 12.01ක් දක්වා වර්ධනය වී තිබේ. එය 5.72%ක ඉහළ යාමකි.
අපනයන ක්ෂේත්රය පුළුල් කිරීම, නව විදේශ වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම, භාණ්ඩ හා සේවා විවිධාංගීකරණය කිරීම සහ ඉහළ වටිනාකමක් සහිත නැගී එන අපනයන ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.
මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා ශ්‍රී ලංකාවේ අපනයන සඳහා වැඩිම ඉල්ලුමක් පැවති රටවල් අතර අමෙරිකාව, ඉන්දියාව, මහා බ්‍රිතාන්‍යය, ඉතාලිය සහ ජර්මනිය ප්රමුඛ ස්ථානයක් ගෙන තිබේ.
ඒ අතරින් වැඩිම අපනයන ආදායමක් අමෙරිකාවෙන් උපයා ඇති අතර, එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 2,518.31කි. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 989.66ක් සහ මහා බ්‍රිතාන්‍යයෙන් ඩොලර් මිලියන 723.40ක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.
එමෙන්ම ඉතාලිය වෙත සිදුකළ අපනයනවලින් ඩොලර් මිලියන 573.18ක ආදායමක් ද, ජර්මනියෙන් ඩොලර් මිලියන 565.95ක ආදායමක් ද ලැබී තිබේ.
අපනයන ක්ෂේත්‍ර අතරින් වැඩිම ආදායමක් උපයා ඇත්තේ ඇඟලුම් කර්මාන්තයයි. එම අංශයෙන් ලැබී ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 4,196.56ක් ලෙස සටහන් වේ.
දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ප්‍රවාහන හා සැපයුම් සේවා අංශයට වන අතර, එමඟින් ඩොලර් මිලියන 1,731.43ක ආදායමක් උපයා තිබේ. තෙවැනි ස්ථානයේ පසුවන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (ICT/BPM) අංශයෙන් ලැබී ඇති ආදායම ඩොලර් මිලියන 1,415.37කි.
මීට අමතරව ඛනිජ තෙල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 1,240.83ක් ද, තේ අපනයනයෙන් ඩොලර් මිලියන 1,202.26ක් ද උපයා තිබේ.
පොල් ආශ්රිත නිෂ්පාදනවලින් ඩොලර් මිලියන 1,054.43ක් සහ රබර් ආශ්රිත නිෂ්පාදනවලින් ඩොලර් මිලියන 873.85ක ආදායමක් ද මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට හිමි වී ඇත.



