ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන් යළි සිරගත වීම ගැන මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්

ඥානසාර හිමියන් යළි සිරගත වීම සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවේ සඳහන් තාක්ෂණික දෝෂය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

මහා සංඝරත්නය, මාධ්‍යවේදීන් සහ මහජනතාව මේ සම්බන්ධයෙන් මතු කරන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ අරමුණින් මෙම නිවේදනය නිකුත් කළ බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි බන්ධනාගාරගත කිරීමට අදාළ නඩු තීන්දුවේ දැක්වෙන්නේ, උන්වහන්සේ නිදහස් කිරීමේදී ජනාධිපති කාර්යාලය විසින් අධිකරණයට ඉදිරිපත් කළ ලේඛනවල තාක්ෂණික දෝෂයක් පැවති බවයි.

අධිකරණය ලබාදුන් තීරණය සම්පූර්ණයෙන්ම නිවැරදි බවත්, එම තීන්දුවට තමන් ගරු කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.

ඥානසාර හිමියන්ට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන නඩු දෙකක් විභාග වී තිබේ. අධිකරණයට බාධා කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වැනි ව්‍යවස්ථාව යටතේ අධිකරණයට අපහාස කිරීම යන චෝදනා යටතේ අංක 37417/10 සහ 40042 දරන නඩු පවත්වා ඇත.

එම නඩු දෙක සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට සමාව ලබාදීම සඳහා අවශ්‍ය ලේඛන අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යොමු කර අනුමැතිය ලබාගත යුතුව තිබූ බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපති කාර්යාලයේ නීති අංශය භාරව සිටි අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය ඒ බව තමන්ට දැනුම් දී තිබුණද, අදාළ ඉල්ලීම අමාත්‍යාංශයට යොමු කර නොමැති බව ඔහු සඳහන් කරයි.

එහෙත් අමාත්‍යාංශයේ අනුමැතිය ලබා නොගෙන තම අත්සන පමණක් ලබාගෙන තිබූ බවත්, එම ක්‍රියාවලිය හරහා තමන් නොමඟ යවා ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවේදනයේ දැක්වේ.

පාක්‍යසෝති සරවනමුත්තු මහතාට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානයක් හරහා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත මෙම නීතිමය තීරණය ලැබී ඇති බවද එහි සඳහන් කර ඇත.

එවකට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් අතින් සිදුවූ වරද හේතුවෙන් ඥානසාර හිමියන්ට නැවත සිරගත වීමට සිදුවූ බව පවසන හිටපු ජනාධිපතිවරයා, එම අත්වැරැද්ද සම්බන්ධයෙන් මහා සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවද ප්‍රකාශ කර තිබේ.

අන්තර්ජාලයෙන් ලබාගත් අදාළ අධිකරණ තීන්දුවේ පිටපතක් අධ්‍යයනය කිරීමෙන් පසු මෙම කරුණු අනාවරණය කරගත් බව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button