ප්‍රධාන පුවත්

කථානායකගේ සහතිකය සමඟ දූෂණ විරෝධී සංශෝධන පනත බලාත්මක වෙයි

දූෂණ විරෝධී සංශෝධන පනත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (19) සිය සහතිකය සටහන් කර තිබේ. ඒ අනුව 2026 අංක 25 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත ලෙස එය බලාත්මක වී ඇත.

 

අදාළ පනත් කෙටුම්පත 2026 අගෝස්තු 19 වැනිදා අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

 

එහි දෙවැනි වර කියවීමේ විවාදය ඔක්තෝබර් 08 වැනිදා පැවැති අතර, සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කර තිබේ.

 

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේදී හඳුනාගත් නීතිමය, අර්ථ නිරූපණමය, පරිපාලනමය සහ තාක්ෂණික ගැටලු විසඳීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණකි. එමෙන්ම සිංහල හා ඉංග්‍රීසි පනත් පාඨ අතර පවතින නොගැළපීම් නිවැරදි කිරීමත්, දූෂණ වැරදි සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ සහ නඩු පැවරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමත් මෙයට ඇතුළත් වේ.

 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම සහ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම ද මෙම පනත මඟින් අපේක්ෂා කෙරේ.

 

මෙම සංශෝධන හරහා ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී නීතිමය හා ආයතනික රාමුව ශක්තිමත් කිරීමටත්, අදාළ නීති වඩාත් ඵලදායීව, විනිවිදභාවයෙන් සහ වගකීමෙන් යුතුව ක්‍රියාත්මක කිරීමටත් අපේක්ෂා කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button