අධ්‍යාපන

ගුරු ස්ථාන මාරු NEMIS පද්ධතිය හරහා

ගුරු ස්ථාන මාරු NEMIS පද්ධතිය භාවිත කරමින් ඉදිරියේදී ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය සිදු කිරීමට රජය සැලසුම් කර ඇති අතර, එම ක්‍රමය සබරගමුව සහ බස්නාහිර පළාත්වල දැනටමත් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරයි.

NEMIS (National Education Management Information System) පද්ධතියේ මානව සම්පත් කළමනාකරණ (HRM) මොඩියුලය සම්බන්ධයෙන් පළාත් හතරක කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ඇති අතර, ඉතිරි පළාත් පහේ දත්ත ඇතුළත් කිරීම ඉදිරි මාස තුන තුළ නිම කිරීමට සැලසුම් කර තිබේ. මෙම පද්ධතිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික සහාය ඇතිව සංවර්ධනය කර ඇත.

අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහනේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර, එහිදී NEMIS පද්ධතිය සම්බන්ධ ඉදිරි පියවර පිළිබඳව අවධානය යොමු කර ඇත.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ පාසල්වල ස්මාර්ට් පුවරු, පරිගණක සහ අන්තර්ජාල පහසුකම් ලබාදීම ඇතුළු ව්‍යාපෘති රැසක් පසුගිය වසර තුළ ක්‍රියාත්මක කර ඇති බවද මෙහිදී අනාවරණය වී තිබේ.

තවද, පාසල් සඳහා ෆයිබර් අන්තර්ජාල පහසුකම් ලබන දෙසැම්බර් 31 වන විට සම්පූර්ණ කිරීමට තීරණය කර ඇති අතර, එය ප්‍රායෝගික නොවන ප්‍රදේශවල රැහැන් රහිත (Wireless) හෝ චන්ද්‍රිකා (Satellite) තාක්ෂණය භාවිත කිරීමටද සැලසුම් කර ඇත.

මීට අමතරව LMS සහ NEMIS පද්ධති සියලු පාසල් වෙත පුළුල් කිරීම, ඊ-තක්සලාව යාවත්කාලීන කිරීම සහ අධ්‍යාපන අමාත්‍යාංශය හා GovTech ආයතනය අතර ඩිජිටල් සහයෝගීතා වැඩසටහන් ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button