ව්‍යාපාරික

වසරේ මුල් මාස 6දී අපනයන ආදායම ඩොලර් බිලියන 9 ඉක්මවයි

අපනයන ආදායම ඩොලර් බිලියන 9 ඉක්මවයි යන මට්ටමට 2026 වසරේ මුල් මාස හය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ළඟා වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 9,012.24ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය 2025 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 8ක වර්ධනයක් ලෙස සටහන් වී තිබේ.

එම කාලය තුළ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 7,073.31ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 8.95ක වර්ධනයකි. සේවා අපනයන ආදායමද සියයට 4.49ක වර්ධනයක් වාර්තා කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,938.94ක් දක්වා ඉහළ ගොස් ඇත.

2026 ජූනි මාසයේ පමණක් සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,658.62ක් ලෙස වාර්තා වී ඇති අතර, එය පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව සියයට 12.53ක වර්ධනයකි. ඉන් භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,314.10ක් වන අතර, සේවා අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 344.52ක් ලෙස සටහන් වී තිබේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT/BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා, ප්‍රවාහන සහ සැපයුම් ඇතුළු දැනුම මත පදනම් වූ සේවා ක්ෂේත්‍ර විදේශ විනිමය ඉපැයීම සහ අපනයන ආදායම වර්ධනය කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇති බව ද සඳහන් වේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, ගෝලීය වෙළෙඳපොළේ අභියෝග මධ්‍යයේ වුවද දේශීය අපනයනකරුවන්ගේ තරගකාරීත්වය මෙම ප්‍රගතියට ප්‍රධාන හේතුව වී ඇති බවයි. තවද 2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම යටතේ නවෝත්පාදන, වෙළෙඳපොළ විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය කරමින් අපනයන ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button