ප්‍රධාන පුවත්

ඥානසාර හිමිට නිදහස ඉල්ලා මහ සඟරුවන තවමත් ජනපති කාර්යාලය ඉදිරිපිට

ඥානසාර හිමිට නිදහස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටින මහා සංඝරත්නය ඇතුළු පිරිස අද (16) උදෑසන වනවිටත් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් නොමැත.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන’ සඳහා එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස ඊයේ (15) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණියහ.

එහිදී ඥානසාර හිමියන්ට නිදහස ලබාදීම සම්බන්ධයෙන් රජය නිශ්චිත පිළිතුරක් ලබාදිය යුතු බව ඔවුහු අවධාරණය කළහ. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ ඒ පිළිබඳව නිශ්චිත පිළිතුරක් ලබාදිය නොහැකි බවය.

පසුව එම ස්ථානයට පැමිණි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද රැස්ව සිටි මහා සංඝරත්නය සමඟ සාකච්ඡාවක නිරත විය.

එහිදී අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළ බව පැවසූ ඒ මහතා, ව්‍යවස්ථාමය ප්‍රතිපාදනවලට අනුකූල නීතිමය ක්‍රියාවලිය යටතේ කටයුතු කිරීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇති බව දැනුම් දුන්නේය.

කෙසේ වෙතත්, එම ක්‍රියාවලිය සඳහා කොපමණ කාලයක් ගතවේදැයි භික්ෂූන් වහන්සේලා විමසූ අවස්ථාවේදී නිශ්චිත කාලසීමාවක් ප්‍රකාශ කළ නොහැකි බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සඳහන් කර තිබේ.

ඒ අනුව සිය ඉල්ලීමට විසඳුමක් ලැබෙන තෙක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට තවදුරටත් රැඳී සිටීමට මහා සංඝරත්නය ඇතුළු පිරිස තීරණය කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button