
කොරියා රැකියාකරුවන්ට ආයෝජන සහය දෙන බව රජය කියයි
දකුණු කොරියාවේ රැකියා කරමින් පසුව ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජන ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ශ්‍රමිකයන්ට රජයේ පූර්ණ සහය ලබාදෙන බව වැඩ බලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (26) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී දකුණු කොරියාවට රැකියා සඳහා පිටත්ව යන පිරිසක් අමතමිනි.
වත්මන් ගෝලීය ආර්ථික අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ වුවද මෙරට ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා විදේශ රැකියා ක්ෂේත්රයෙන් විශාල දායකත්වයක් ලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
දකුණු කොරියානු රජය සමඟ සෘජු සාකච්ඡා පවත්වා එරට රැකියා අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.
2026 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා දකුණු කොරියාවේ නිෂ්පාදන අංශයට ශ්‍රී ලාංකිකයන් 1,067 දෙනෙකුට රැකියා අවස්ථා හිමිව ඇති බවද අනාවරණය විය.
එම පිරිස අතරින් 68 දෙනෙකුට ඊයේ අවසන් දැනුවත් කිරීම සහ ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදීමද සිදුකර තිබේ.



