
ආණ්ඩුව ඉවත් කරන්න ජනතා ඉල්ලීමක් නෑ – ජනපති
වත්මන් රජය ජනතාවට වගකියන ආණ්ඩුවක් බැවින් එය බලයෙන් පහ කිරීමට මහජනතාවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ වෙනුවෙන් බලාපොරොත්තු තබාගෙන සිටින්නේ වංචා, දූෂණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පිරිස් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
තමන්ට එරෙහිව ඇති චෝදනා අධිකරණය හමුවේ විභාග වන අවස්ථාවේ ඇතැම් පිරිස් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන බවත්, එහෙත් රජය තවදුරටත් ජනතා විශ්වාසය දිනාගනිමින් ඉදිරියට යමින් සිටින බවත් ඔහු පැවසීය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මාතර, නිල්වලා ගඟ ආශ්රිත ලවණ බාධකය හේතුවෙන් 2019 සිට 2022 දක්වා වගා කටයුතු අහිමි වූ ගොවීන් සඳහා වන්දි ප්රදානය කිරීමේ අවස්ථාවට අද (27) පෙරවරුවේ මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී එක්වෙමිනි.
රට තුළ මේ වනවිට විනයගරුක සහ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගී ඇති බැවින්, පීඩාවට පත් ජනතාවට ඉතිහාසයේ වැඩිම වන්දි මුදල් ලබාදීමට හැකි වී ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
“යම් හානියක් සිදු වූ විගස කෙටි කාලයක් තුළ වන්දි ලබාදීම රජයේ ප්‍රතිපත්තියක්” බව සඳහන් කළ ජනාධිපතිවරයා, ජනතාවගේ හදිසි ගැටලු විසඳීම සමඟ ඔවුන්ගේ ආර්ථිකය ක්‍රමයෙන් ශක්තිමත් කර ජාතික ආර්ථිකයට දායක කරගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද පැවසීය.
කුඩා ව්‍යාපාරිකයන් සඳහා ණය පහසුකම් ලබාදීමට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ රුපියල් මිලියන 90,000ක් වෙන් කර ඇති බවත්, ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීම සඳහා ක්‍රියාත්මක “ප්‍රජා ශක්ති” වැඩසටහන වෙනුවෙන් 2026 වසර සඳහා රුපියල් මිලියන 25ක් වෙන් කර ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
දශක ගණනාවකට පසුව රටේ ආර්ථික දර්ශක රැසක ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන බව පැවසූ ජනාධිපතිවරයා, ජනතාවගේ ජීවන තත්ත්වය පහසු වීමද ආර්ථික වර්ධනයේ වැදගත් මිනුමක් බව සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා කැපවී කටයුතු කරන මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන්ටද ජනාධිපතිවරයා ස්තූතිය පළ කළේය.
මාතර ගංවතුර ගැටලුවට ස්ථිර විසඳුම් ලබාදීම, අඩු ආදායම්ලාභී ජනතාවට ස්ථාවර ආදායම් මාර්ග සකස් කිරීම සහ දිස්ත්‍රික්කයේ සංවර්ධනය පුළුල් කිරීම සඳහා රජය සැලසුම් රැසක් ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.
අධ්‍යාපනය ජන ජීවිත උසස් කිරීමේ ප්‍රධාන මාර්ගය බව හඳුනාගෙන ඇති රජය, දිවයින පුරා පාසල් නවීකරණය කිරීම සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 50ක් ඉදිකිරීම ඇතුළු අධ්‍යාපන පරිවර්තන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



