ප්‍රධාන පුවත්

ගොවීන්ට සහන ණය ලබාදීමට නව කෘෂි බැංකුවක්

ගොවීන් ඉහළ පොලී ණය බරින් මුදා ගැනීමේ අරමුණින් කෘෂි බැංකුවක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.පී. සරත් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මෙම බැංකුව හරහා ගොවීන්ගේ වගා කටයුතු සඳහා අක්කරයකට රුපියල් ලක්ෂයක නිෂ්පාදන වියදමක් ලබාදීමට කටයුතු කරන බවයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ගොවීන් වගා කටයුතු සඳහා අධික පොලී යටතේ ණය ලබාගැනීම හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවට පත්වන බවයි.

“තව කන්න දෙකක් තුනක් යන කොට යාය ගොවි සමිති හදලා ගොවියට වගා කරන්න අවශ්‍යකරන කරන මුදලක් ලබාදෙනවා. අපේ ගොවියා ගොඩක් පිටට ණය වෙනවා. ගිනි පොලී කාරයන්ට ණය වෙලා, ණය ගෙවා ගන්න බැරුව වී විකුණනවා.

නිෂ්පාදන වියදම වැඩි වෙන්නේ ගිනි පොලියට ණයට ගන්න නිසා. ඒ නිසා බැංකුවක් ආරම්භ කරන්න අදහස් කරමින් ඉන්නවා. එමගින් සෑම ගොවියෙකුටම අක්කරයකට ලක්ෂයක නිෂ්පාදන වියදමක් ලබා දෙන්න කටයුතු කරනවා.

තවද චීනය සමග සාකච්ඡා කර සෑම ගොවි ව්‍යාපාරයකම ‘කෘෂි උපරකණ මධ්‍යස්ථානයක්’ ඇතිකරන්න කටයුතු කරනවා.

ලෝකයේ දියුණු මැෂින්, විශාල ට්‍රැක්ටර්, ගොයම් කපන මැෂින්, ඩ්‍රෝන, නියර රහින සහ බඳින මැෂින් ගේනවා. ඒ ආයතන හරහා ගොවීන්ට සහනදායි මිලට අවශ්‍යතාව ඉටුකර ගැනීමට කටයුතු සලසා දෙනවා.

අපි බලය අරගෙන තවම වසර එකහමාරයි. අපි අවුරුදු පහකට බලය ගත්තේ ගොවියා නගන හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න” යනුවෙන් පැවසීය.

එමෙන්ම චීනය සමඟ සාකච්ඡා කර සෑම ගොවි ව්‍යාපාරයකටම කෘෂි උපකරණ මධ්‍යස්ථාන පිහිටුවීමටද සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එම මධ්‍යස්ථාන හරහා නවීන කෘෂි යන්ත්‍රෝපකරණ, ට්‍රැක්ටර්, ගොයම් කපන යන්ත්‍ර, ඩ්‍රෝන සහ අනෙකුත් උපකරණ ගොවීන්ට සහනදායී මිලකට ලබාගැනීමට අවස්ථාව සලසා දීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button