
රු. 500ක අල්ලසක් සමඟ කොටුව අධිකරණ සේවකයෙකු අත්අඩංගුවට
කොටුව අධිකරණ සේවකයෙකු රුපියල් 500ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයේ සේවයේ නියුතු කාර්යාල කාර්ය සහයකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, නඩු තීන්දුවක පිටපතක් ලබාදීම සඳහා ඔහු විසින් මෙම මුදල ඉල්ලා ලබාගෙන ඇති බව සඳහන් වේ.
කොළඹ වංචා විමර්ශන කාර්යංශයට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයේ විභාග වූ මුදල් ආරවුලකට අදාළ නඩුවක් සමථයකට පත්වීමෙන් අනතුරුව, එහි තීන්දුවේ පිටපතක් ලබාදීම සඳහා සැකකරු විසින් ඉකුත් ජුනි 30 වැනිදා රුපියල් 500ක මුදලක් ඉල්ලා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව ක්රියාත්මක වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරු ඊයේ (16) පස්වරු 3.35ට පමණ කොටුව මහෙස්ත්රාත් අධිකරණ පරිශ්රයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදුකරයි.



