
පොලිස් නිෂ්කාශන ගැටලු සඳහා දුරකථන අංක 03ක්
පොලිස් නිෂ්කාශන සහතික ලබාගැනීමේදී ඇතිවන ගැටලු සම්බන්ධයෙන් විමසීම් ඉදිරිපත් කිරීම සඳහා නව දුරකථන අංක තුනක් හඳුන්වා දී තිබේ.
පැය 24 පුරා ක්‍රියාත්මක මෙම දුරකථන අංක හරහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය අමතා, නිෂ්කාශන සහතික සඳහා අයදුම් කිරීමේදී මතුවන ගැටලු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ හැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පොලිස් නිෂ්කාශන සහතික ලබාගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබේ.
නිෂ්කාශන පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් ප්‍රාදේශීය පොලිස් ස්ථාන මට්ටමින් අදාළ නිෂ්කාශන සහතික ලබාගැනීම සඳහා වන අයදුම්පත් භාරගැනීම සිදුකරන බව මාධ්‍ය පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වුට්ලර් මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට අවශ්‍ය අය සඳහා 071 859 59 46, 071 859 59 47, 071 859 59 48 යන දුරකථන අංක හඳුන්වා දී ඇති බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.



