
ආදායම් බදු නොගෙවන්නන්ට නඩු
ආදායම් බදු නොගෙවන්නන්ට නඩු පැවරීම සඳහා නව නීතිමය බලතල ක්‍රියාත්මක කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
2026 අංක 11 දරණ දේශීය ආදායම් (සංශෝධන) පනත යටතේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට එවැනි පුද්ගලයින් සහ ආයතනවලට එරෙහිව අපරාධමය නඩු පැවරීමේ බලය හිමිව ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ආදායම් බදු සඳහා ලියාපදිංචි නොවීම, බදු වාර්තා ගොනු නොකිරීම, රඳවා ගැනීමේ බදු සහ අත්තිකාරම් පුද්ගල ආදායම් බදු සම්බන්ධ වාර්ෂික ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම වැනි වගකීම් හිතාමතාම පැහැර හරින අවස්ථාවලදී මෙම නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව ද එහි දැක්වේ.
කෙසේවෙතත්, අපරාධ නඩු පැවරීම අවසන් පියවර ලෙස පමණක් භාවිත කරන අතර, ඊට පෙර අදාළ පාර්ශ්වයට නිල දැනුම්දීමක් සිදුකර දින 30ක සහන කාලයක් ලබාදෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසීය.
එම සහන කාලය තුළ අවශ්‍ය නීතිමය වගකීම් ඉටු නොකළහොත්, එය නීතිමය වරදක් ලෙස සලකා මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට හැකියාව පවතින බව සඳහන් වේ.
එවැනි චෝදනාවකට වරදකරු වුවහොත් රුපියල් ලක්ෂ 4ක් නොඉක්මවන දඩ මුදලක්, මාස 6ක් නොඉක්මවන සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැනවිය හැකි බව ද දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.
මෙම වැඩපිළිවෙළේ අරමුණ හිතාමතාම බදු වංචා කරන පුද්ගලයින් ඉලක්ක කර ගැනීම පමණක් වන අතර, නීතියට අනුකූලව සහයෝගයෙන් කටයුතු කරන බදු ගෙවන්නන්ට දඬුවම් කිරීම අරමුණ නොවන බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැහැදිලි කළේය.



