ප්‍රධාන පුවත්

ප්‍රධාන ජලාශ 74ක ජල ධාරිතාව පහළට

දිවයිනේ ප්‍රධාන ජලාශ 74ක සමස්ත ජල ධාරිතාව මේ වන විට 36%ක් දක්වා පහළ බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

තෙත් කලාපයේ පිහිටි ප්‍රධාන ජලාශවල ජල මට්ටම සම්බන්ධයෙන් සැලකිය යුතු ගැටලුවක් නොමැති නමුත්, වියළි කලාපයේ ජලාශවල ජල ධාරිතාව වේගයෙන් අඩුවෙමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

වියළි කලාපයේ ප්‍රධාන ජලාශ සතු ජල ධාරිතාව සීඝ්‍රයෙන් පහළට

හම්බන්තොට, මඩකලපුව, මොනරාගල, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ඇතැම් ජලාශවල ජල ධාරිතාව මේ වන විට 30%කටත් අඩු මට්ටමකට පහළ ගොස් ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.

සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේදී වියළි කාලගුණ තත්ත්වයක් පැවතුණද, මෙම වසරේ පවතින එල් නිනෝ කාලගුණික බලපෑම හේතුවෙන් එම තත්ත්වය වඩාත් උග්‍ර වී ඇති බවද ඔහු පැවසීය.

අධික උණුසුම හේතුවෙන් වැව් හා ජලාශවල ජලය වේගයෙන් වාෂ්පීකරණය වීමත් සමඟ ජල සම්පත තවදුරටත් සීමා වෙමින් පවතින බවද සඳහන් වේ.

ජල අවශ්‍යතා ඉහළ යද්දී ජල නිකුතුවට සීමා

වියළි කාලගුණයෙන් දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල පානීය හා පාරිසරික අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාව ලබාදීමට සිදුවීම හේතුවෙන් වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීම සීමා කිරීමට සිදුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට පානීය ජල සැපයුම සීමා කර නොමැති නමුත්, ඇතැම් ප්‍රදේශවල වගාවන් සඳහා නිකුත් කරන ජල ප්‍රමාණය සීමා කිරීමට පියවර ගෙන තිබේ.

මෙම තත්ත්වයට මුහුණදීම සඳහා ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සහ පරිසරයට සංවේදීව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.

වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 7කට බලපෑම්

මේ අතර, එල් නිනෝ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23ක් වියළි කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම තත්ත්වය හේතුවෙන් පවුල් 25,628කට අයත් පුද්ගලයින් 81,865 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බවද එම මධ්‍යස්ථානය පවසයි.

පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20කට ජලය බෙදාහැරීමට මේ වන විට පියවර ගෙන තිබේ. ඒ අනුව පවුල් 23,048කට අයත් පුද්ගලයින් 72,153 දෙනෙකු සඳහා පානීය ජලය ලබාදීමට කටයුතු කර ඇත.

අධික උණුසුම සහ වියළි කාලගුණය හේතුවෙන් ලැව්ගිනි වැනි තත්ත්වයන් ඇතිවී ඒවා වේගයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඉදිරි කාලගුණික වෙනස්කම් සඳහා සූදානම් වීමේදී එල් නිනෝ පුරෝකථන පිළිබඳව නිරන්තරයෙන් දැනුවත්ව සිටීමේ වැදගත්කමද ඔහු අවධාරණය කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button