
එක්සත් ජාතික පක්ෂයෙන් භික්ෂූ විනය ගැන විශේෂ ප්‍රකාශයක්
භික්ෂූ විනය සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා දැනටමත් ස්ථාපිත ක්‍රමවේදයක් පවතින බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
එම පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන්නේ, අදාළ කරුණු පිළිබඳ කැබිනට් පත්‍රිකා සකස් කර ඒවා මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තීරණ ගැනීම සුදුසු බවයි.
රට තුළ දිගුකාලීනව පැවති සම්ප්‍රදායන් හා පිළිගත් ක්‍රමවේදයන්ට අනුව කටයුතු කිරීම වැදගත් බවද එහි අවධාරණය කර ඇත.
තවද, රජයට සම්බන්ධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ශාසනය හා බුදුදහම ඉලක්ක කරගත් සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට චෝදනා කරන එම පක්ෂය, ඊට සිවිල් සමාජයේ ඇතැම් පිරිස්ද සම්බන්ධ වී සිටින බව පෙන්වා දෙයි.
එමෙන්ම, වර්තමානයේ බෞද්ධ පැවිදි සහ ගිහි සමාජයේ මතයන් පසුබැසීමට ලක්වන තත්ත්වයක් දක්නට ලැබෙන බවද එක්සත් ජාතික පක්ෂය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.






