
ඉන්ධන සැපයුම සීමා කිරීමක් වුවහොත් පෞද්ගලික සමාගම්වලට නීතිමය පියවර
ඉන්ධන සැපයුම සීමා කිරීම මඟින් පාරිභෝගිකයන් අපහසුතාවට පත් කිරීමට පෞද්ගලික ඉන්ධන සමාගම් අඛණ්ඩව කටයුතු කළහොත්, ඊට එරෙහිව නීත්‍යානුකූලව ගත හැකි සියලු පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල එම ප්‍රතිශතයෙන්ම ඉහළ දමා නොමැති බවයි.
ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑමෙන් සැලකිය යුතු කොටසක් රජය සහනාධාර ලෙස දරාගන්නා බවත්, ඒ සඳහා මීට පෙර රුපියල් බිලියන 57ක් වෙන් කර ඇති අතර ඉදිරි මාස තුන වෙනුවෙන් තවත් රුපියල් බිලියන 41ක් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඉන්ධන මිල වැඩිවීමේ බලපෑමෙන් කොටසක් දරාගන්නා ලෙස පෞද්ගලික සමාගම්වලට දැනුම් දී ඇති බවද ඔහු පැවසීය. කෙසේ වෙතත්, ඇතැම් පෞද්ගලික ඉන්ධනහල් මඟින් සැපයුම් සීමා කිරීම හේතුවෙන් පාරිභෝගිකයන් අපහසුතාවට පත්වන තත්ත්වයක් ඇති වී තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අදාළ ගිවිසුම්වලට අනුව පෞද්ගලික සමාගම්වලට මිල සූත්‍ර සහ පිරිවැය පදනම් කරගත් මිලකරණ ක්‍රමවේද අනුගමනය කිරීමට අවස්ථාව පවතින බවද ඔහු සඳහන් කළේය. එහෙත් එමඟින් ජනතාව පීඩාවට පත් කිරීමට රජය ඉඩ නොදෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මෙසේ පැවසීය.
”රුපියල් දහයක තෙල් මිල වැඩි වෙනකොට, රුපියල් හැත්තෑවක සහනාධාරයක් රජය හැටියට ලබා දීලා තියෙනවා කියන එක කවුරුත් කතා කරන්නේ නෑ. අනිත් එක තමයි, පෙබරවාරි මාසයට සාපේක්ෂව ලෝකයේ මේ වෙනකොට කොච්චර ප්‍රතිශතයකින් තෙල් මිල ඉහළ ගියාද කියන එක. ඒවා කල්පනා කරන්නේ නැතුව තමයි සමහර ප්‍රශ්න සමාජයෙන් අහන්නේ. ඉතින් එහෙම බැලුවහම, අපි ලෝක වෙළඳපොළට සාපේක්ෂව ඒ ප්‍රමාණයටම තෙල් මිල වැඩි කරලා නෑ…
ඒ වගේම තමයි අපි කලින් සැරේ බිලියන පනස් හතක් වෙන් කළා සහනාධාර ලබා දෙන්න. දැන් ඉදිරි මාස තුන සඳහා බිලියන හතළිස් එකක් සහනාධාර සඳහා වෙන් කරලා තියෙනවා. එතකොට, මේ වැඩි වෙච්ච තෙල්වල මිලෙන් කොටසක් අපි රජය හැටියට සහනාධාර ලෙස අවශෝෂණය කර ගන්නවා. ඒ වගේම, ඉතිරි කොටසෙන් කොටසක් අපි අදාළ සමාගම්වලට කියනවා, “අපි මේ ඉන්නේ දුෂ්කර අවස්ථාවක, ඉතා විශාල වශයෙන් තෙල් මිල වැඩි කරන්න පුළුවන් කාලයක් නෙමෙයි, ඒ නිසා ඔවුන් ඒකෙන් කොටසක් දරාගන්න ඕනේ” කියලා. ඒකෙන් සුළු කොටසක් තමයි ඉන්ධන පාරිභෝගිකයාට ලබා දෙන්නේ…
මේ දවස්වල සමහර පෞද්ගලික ඉන්ධනහල් සම්බන්ධයෙන් විශාල කතාබහක් තියෙනවා. ඔවුන් තෙල් සැපයුම සීමා කරලා තියෙනවා. අපි ඒගොල්ලන්ට කියන්න ඕනේ, ඒගොල්ලෝ කියන විදිහට මිල වැඩි කරලා ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරන්න අපි කිසිසේත්ම සූදානම් නැහැ කියලා. ඒ නිසා, අදාළ ගිවිසුම්වලට අනුව, තමන්ගේ මිල සූත්‍රයට සහ පිරිවැය පාදක කරගෙන මිලකරණයකට යන්න ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා. කැමති නම් ඒක භාවිතා කරාට කමක් නැහැ…
මෙහිදී, හැබැයි ඒගොල්ලෝ දිගින් දිගටම ඉන්ධන සැපයුම සීමා කරලා ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරනවා නම්, නීත්‍යානුකූලව අපිට ගන්න පුළුවන් පියවර ටික ගැනීමට අවධානය යොමු කරලා තියෙනවා. අවසානයේදී, මේ අය මෙතනට ගේනකොට කිව්වේ, තරගකාරී වෙළඳපොළකින් ඉන්ධන පාරිභෝගිකයන්ට සාධාරණයක් කරන්න පුළුවන් කියලා…
නමුත් මේ පෞද්ගලික අංශයේ මැදිහත්වීම දැන් වෙලා තියෙන්නේ, ඒගොල්ලන්ගේ බලපෑම නිසා විශාල වශයෙන් ඉන්ධන මිල ඉහළ දමන්න කියන බලපෑමක් කිරීමයි. රජයක් හැටියට අපි කීයටවත් ඒකට ඉඩ දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ආයෝජකයන් අපහසුතාවයට පත් කරන එක නෙමෙයි අපේ බලාපොරොත්තුව; ඒ වගේම, ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරන එකත් අපේ කාර්යභාරය නෙමෙයි…”



