ප්‍රධාන පුවත්

බන්ධනාගාර රෙගුලාසි යාවත්කාලීන කිරීමේ කමිටුව රැස්වෙයි

 බන්ධනාගාර රෙගුලාසි යාවත්කාලීන කිරීම සඳහා පත් කළ විශේෂ කමිටුව ඊයේ (09) ජනාධිපති කාර්යාලයේදී රැස්ව තිබේ. බන්ධනාගාර ආඥාපනත යටතේ සකස් කර ඇති නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණයි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පසුගිය 08 වැනිදා පැවති සාකච්ඡාවේදී ගත් තීරණයකට අනුව මෙම විශේෂ කමිටුව පත් කර තිබේ.

බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ ලබාදීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා ද මෙම සාකච්ඡාවට එක්ව සිටියේය.

කමිටු සභාපතිවරයා ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතා කටයුතු කරන අතර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් මහත්මිය ද ඊට සහභාගී වී තිබේ.

එමෙන්ම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න මහතා සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන ඒ.සී. ගජනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අදාළ නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමේ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මඟපෙන්වීම මෙහිදී ලබා දී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button