
ඉන්ධන මිල ගැන රජයේ සාකච්ඡා – සහනාධාරයක් හෝ මිල සංශෝධනයක්
ඉන්ධන මිල සම්බන්ධයෙන් ඉදිරියේදී සහනාධාරයක් ලබාදීම හෝ මිල සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසයි.
පසුගිය දිනවල අනෙකුත් ඉන්ධන වෙළෙඳ සමාගම් විසින් වෙළෙඳපොළට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය අඩු කිරීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් ඇතිවූ බවද ඔහු සඳහන් කර තිබේ.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය සතියේ සියලුම ඉන්ධන සමාගම් කැඳවා සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එහිදී අදාළ සමාගම් තමන් මුහුණ දෙන පාඩු පිළිබඳව රජයට දැනුම් දුන් බවත් සභාපතිවරයා පවසයි.
ඒ අනුව RM Parks සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 173ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 38.75ක පාඩුවක් පෙන්වා තිබේ. Sinopec සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 192ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 67ක පාඩුවක් පෙන්වා ඇති බවද සඳහන් වේ.
එමෙන්ම IOC සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 136ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 57ක පාඩුවක් සිදුවන බව පෙන්වා දී ඇති බව ඩී. ජේ. රාජකරුණා මහතා සඳහන් කරයි.
රජයට ජාතික වගකීමක් පැවරී තිබුණද, අනෙකුත් සමාගම් ව්‍යාපාරික අරමුණින් කටයුතු කරන බැවින් පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීම ඔවුන්ට සිදුකළ නොහැකි බවද ඔහු පෙන්වා දී තිබේ.
අදාළ සමාගම් සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම් අනුව, නියමිත මිලට ඉන්ධන අලෙවි කිරීමේදී පාඩුවක් සිදුවන්නේ නම් එම පාඩුව රජය විසින් පියවිය යුතු බවට ප්‍රතිපාදන පවතින බවද සභාපතිවරයා සඳහන් කර ඇත.
ඒ අනුව අදාළ සමාගම්වලට පාඩුවකින් තොරව ඉන්ධන අලෙවි කිරීමට අවස්ථාව ලබාදීම හෝ රජයේ මැදිහත්වීමෙන් සහනාධාරයක් ලබාදීම යන විකල්ප සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා සිදුවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.



