ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවට තවත් IMF වැඩසටහනක් ගැන තීරණය රජයට

වත්මන් IMF වැඩසටහන අවසන් වූ පසු තවත් වැඩසටහනක් සඳහා ඉල්ලුම් කරන්නේද යන්න තීරණය කිරීම ශ්‍රී ලංකා රජය සතු කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පපර්ජියෝර්ජියෝ සඳහන් කර ඇත්තේ, නව වැඩසටහනක අවශ්‍යතාව සහ රජය අත්කර ගැනීමට අපේක්ෂා කරන ආර්ථික අරමුණු අනුව ඒ පිළිබඳ තීරණය රජය විසින් ගත යුතු බවය.

කෙසේ වෙතත්, වත්මන් විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ තවත් සමාලෝචන දෙකක් සම්පූර්ණ කිරීමට නියමිතව තිබේ. ඒ අනුව 7 වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා මේ වනවිට පැවැත්වෙන අතර, 8 වන සහ අවසන් සමාලෝචනය ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.

7 වන සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමට පෙර විසඳාගත යුතු කරුණු කිහිපයක් පමණක් ඉතිරිව ඇති බවද IMF දූත මණ්ඩල ප්‍රධානියා සඳහන් කර තිබේ.

වත්මන් වැඩසටහන යටතේ ඉලක්ක සහ ප්‍රතිසංස්කරණ කිහිපයක් ක්‍රියාත්මක වන අතර, ඒවා සම්පූර්ණ කර ගැනීමට හැකි වනු ඇතැයි IMF අපේක්ෂා කරයි.

එමෙන්ම විධිමත් IMF වැඩසටහනක් ක්‍රියාත්මක නොවන අවස්ථාවකදී වුවද රටවලට සහාය ලබාදීම සඳහා IMF සතුව විවිධ ක්‍රමවේද පවතින බව එවන් පපර්ජියෝර්ජියෝ පෙන්වා දී ඇත.

සැප්තැම්බර් 10 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ සිදුකළ IMF දූත මණ්ඩල සංචාරය අවසන් කිරීමෙන් අනතුරුව ඔහු මෙම කරුණු සඳහන් කර තිබේ. එම සංචාරයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයන්, වත්මන් IMF වැඩසටහන යටතේ ලබා ඇති ප්‍රගතිය සහ 2026 වාර්ෂික උපදේශනයට අදාළ ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කර ඇත.

අඛණ්ඩව ඇතිවන ආර්ථික කම්පන මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය යම් ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බවද IMF පෙන්වා දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button