කාලගුණය

ගැඹුරු පීඩන අවපාතය අද රාත්‍රියේ ඉන්දියාවට

ගැඹුරු පීඩන අවපාතය අද රාත්‍රී කාලයේදී ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගැඹුරු පීඩන අවපාතයේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද, එම පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව දැනුම් දී තිබේ.

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍ය කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක්ද පවතින බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

උතුරු-මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද දැනුම් දී තිබේ.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු-මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button