
ඉන්දියාවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඩොලර් මිලියන 5ක උපකරණ පරිත්‍යාගයක්
ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කරන ලද හමුදා සහ වෛද්‍ය උපකරණ තොගයක් නිල වශයෙන් භාරදීමේ උත්සවය ඊයේ (16) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී පැවැත්විණි.
ඉන්දීය ආධාර වැඩසටහන යටතේ ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 5කට අධික වටිනාකමකින් යුත් මෙම උපකරණ තොගය සහ හදිසි අනතුරු හා කම්පන සත්කාරක පද්ධතිය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා වෙත නිල වශයෙන් භාරදී ඇත.
එම අවස්ථාවට යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගු මහතා ද එක්ව සිටියේය.
මේ අතර, ඉන්දීය නාවික හමුදාවට අයත් INS Sharda නෞකාව ජූනි 10 සිට 13 දක්වා කොළඹ වරායට පැමිණි සංචාරයේදී, හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම්වල නිරත ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් සඳහා ඉන්දීය යුද්ධ හමුදාවෙන් ලබාදුන් උපකරණ තොගය ද දිවයිනට රැගෙනවිත් තිබේ.
උත්සවයට එක්වෙමින් ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ, ඉන්දීය යුද්ධ හමුදාවේ මෙහෙයුම් සඳහා භාවිත කරන උපකරණ අතරින් මෙම පරිත්‍යාගය සිදුකිරීම දෙරටේ හමුදාවන් අතර පවතින ශක්තිමත් සහ දිගුකාලීන සබඳතාවයේ පිළිබිඹුවක් බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාව වසර ගණනාවක් පුරා පුහුණු කටයුතු සහ මානුෂීය ආධාරවලට පමණක් සීමා නොවී, ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ හමුදා උපකරණ සැපයීම දක්වා පුළුල් වී ඇති බව ද ඔහු පෙන්වා දී තිබේ.
ආරක්ෂක ලේකම්වරයා ද ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සබඳතා ස්ථාවර ලෙස වර්ධනය වී ඇති අතර දෙරටේ සන්නද්ධ හමුදාවන් අතර සමීප වෘත්තීයමය සම්බන්ධතාවක් පවතින බවයි.






