අධ්‍යාපන

සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි – උසස් පෙළට සිසුන් 225,748ක් සුදුසුකම් ලබයි

2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාග ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ.

එම ප්‍රතිඵල doenets.lk සහ results.exams.gov.lk වෙබ් අඩවි ඔස්සේ පරීක්ෂා කළ හැකි අතර, මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිට තිබේ. අදාළ විභාගය මධ්‍යස්ථාන 3,547කදී පැවැත්වූ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

2025 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් පෙළ හැදෑරීම සඳහා සිසුන් 225,748 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ප්‍රකාශ කළාය. සා.පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳ අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව අනාවරණය කළාය.

මෙවර විභාගයෙන් සියලුම විෂයන් සඳහා ‘A’ සාමාර්ථ ලබාගත් අපේක්ෂකයින් සංඛ්‍යාව 11,790ක් වන අතර, විද්‍යාව සහ ගණිතය විෂයන්හි සමත්වීම් ප්‍රතිශත පසුගිය වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවද ඇය සඳහන් කළාය.

ඒ අනුව විද්‍යාව විෂයට පෙනී සිටි සිසුන්ගෙන් 70.1%ක් මෙවර සමත්ව ඇති අතර, පසුගිය වසරේ එම ප්‍රතිශතය 69.07%ක් ලෙස වාර්තා වී තිබිණි. ගණිතය විෂය සඳහා මෙවර සමත්වීම් ප්‍රතිශතය 72.03%ක් වන අතර, පසුගිය වසරේ එය 71.06%ක් ලෙස පැවති බවද ඇය පැවසුවාය.

කෙසේ වෙතත්, විභාග අපේක්ෂකයින් 7,419 දෙනෙකු මෙවර සියලුම විෂයන් අසමත්ව ඇති බවද අනාවරණය කෙරිණි.

මේ අතර, ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් ජුනි 25 වැනිදා සිට ජූලි 07 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

එමෙන්ම 2026 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය මෙම වසරේම දෙසැම්බර් 8 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය. ඒ සඳහා අයදුම්පත් කැඳවීම ජූලි මස පළමු සතියේදී සිදුකිරීමට නියමිත බවද ඇය ප්‍රකාශ කළාය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button