
සූරේෂ් සලේ සම්බන්ධ වධහිංසා චෝදනා CID පිළිගත් බව බිරිඳ පවසයි
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා රඳවා සිටි අවස්ථාවේදී, ඔහු සෙල් එකෙන් පිටතට ගෙන නිරුවත් කර පරීක්ෂාවකට ලක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පළමු වරට පිළිගෙන ඇති බව ඔහුගේ බිරිඳ මනෝරි සලේ මහත්මිය පවසයි.
ඇය අද (17) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සඳහන් කළේ, මේ වනවිට සූරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ අඩියකට පත්ව ඇති බවයි. ඔහු ආහාර හා ජලය ගැනීමත් අඩාල වී ඇති අතර දිගින් දිගටම දුර්වල වෙමින් සිටින බවත්, කතා කිරීම සහ දිගු වේලාවක් වාඩිවී සිටීමද අපහසු බවත් ඇය පැවසුවාය.
කැන්යුලා හේතුවෙන් අත් ඉදිමී ඇති බැවින් එය ඉවත් කර දියර ප්‍රතිකාර සීමිතව ලබාදෙමින් වෛද්‍යවරුන් ඔහුගේ ජීවිතය රැකගැනීමට උත්සාහ කරමින් සිටින බවද ඇය සඳහන් කළාය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ CID නිලධාරීන් විසින් ඇයව සහ පවුලේ සාමාජිකයින් කැඳවා ප්‍රකාශ ලබාගෙන ඇති අතර, එහිදී පළමු වරට එම චෝදනාව සම්බන්ධ ක්‍රියාව සිදු වූ බව පිළිගෙන ඇති බවත් මනෝරි සලේ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.



