අධ්‍යාපන

2026දී ගුරුවරුන් 23,000කට වැඩි බඳවා ගැනීමක් – හරිනී අමරසූරිය

මෙම වසර තුළ ගුරුවරුන් 23,000කට අධික සංඛ්‍යාවක් බඳවා ගැනීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය  සඳහන් කර ඇත.

පසුගිය 18 වැනිදා පැවැති අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අග්‍රාමාත්‍යවරිය මෙම කරුණු අනාවරණය කළාය. ගුරුවරුන් 23,000කට වැඩි පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය අනුමැතිය මේ වන විටත් ලැබී ඇති අතර, 2026 වසර තුළ එම බඳවා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට පියවර ගනිමින් සිටින බව ද ඇය පැවසුවාය.

මෙම බඳවා ගැනීම මඟින් දැනට පවතින ගුරු හිඟය සැලකිය යුතු ලෙස අවම වනු ඇති බවත්, ගුරු මාරුවීම් සම්බන්ධ ගැටලු ද සීමා කිරීමට හැකි වනු ඇති බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. විවෘත සහ සීමිත පදනම යටතේ විභාග පැවැත්වීමෙන් උපාධිධාරීන් බඳවා ගැනීමට නියමිත බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

එම රැස්වීමේදී, ‘අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව’ විසින් සකස් කළ වාර්තාව ද ඉදිරිපත් කෙරිණි. එම අනුකාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ සකස් කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.

සාකච්ඡා වට ගණනාවකින් පසු සකස් කරන ලද මෙම වාර්තාව අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කර මහජන අදහස් සහ යෝජනා ලබාගැනීම සඳහා මාසයක කාලයක් ලබාදීමට තීරණය විය.

මේ අතර, උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ අතර, පාසල්වල මානව සම්පත් ඌනතාවය පිළිබඳ වාර්තාව නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය විසින් ඉදිරිපත් කරන ලදී. පාසල්වල භෞතික සම්පත් ඌනතාවය සම්බන්ධයෙන් වූ ප්‍රගති වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් ඉදිරිපත් කළාය.

තවද, ජාතික හා පළාත් මට්ටමින් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණි. ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ගෙන් පැහැදිලි කිරීම් ලබාගෙන ඉදිරි ක්‍රියාමාර්ග සඳහා උපදෙස් ලබාදීමට ද කටයුතු කර ඇත.

මෙම රැස්වීම සඳහා අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සහභාගී වූහ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button