ප්‍රධාන පුවත්

එල්නීනෝ අභියෝගයට සජිත්ගෙන් විසඳුමක්

එල්නීනෝ අභියෝගය හේතුවෙන් ඉදිරියේදී දැඩි නියඟයක් සහ අනතුරුව අධික වර්ෂාවක් වැනි ප්‍රතිවිරුද්ධ කාලගුණික තත්ත්වයන් කෙටි කාලයක් තුළ ඇතිවිය හැකි බැවින්, ඒ සඳහා රටක් ලෙස පූර්ව සූදානමක් ඇති කරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එවැනි අභියෝගවලට සාර්ථකව මුහුණදීම සඳහා දැනට පවතින ආපදා කළමනාකරණ ව්‍යුහය වෙනස් කර නව ක්‍රමවේදයක් හඳුන්වාදීම අවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.

පසුගිය වසර හතක කාලය තුළ රට විවිධ අභියෝගවලට මුහුණ දී ඇති බවත්, දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙන කරුණු අනුව ඉදිරියේදී හයවැනි අභියෝගයකට පවා මුහුණදීමට සිදුවිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයද අවධානය යොමු කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

තල්පේ පත්තුව ඇතුළු මාතර සහ හම්බන්තොට දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය සපුගස්යායේ ධර්මපාල ස්වාමීන් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයෙන්ද ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් පාඩම් ලබාගත හැකි බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, ආපදාවක් සිදුවීමෙන් පසු ප්‍රතිචාර දැක්වීම පමණක් ප්‍රමාණවත් නොවන බව පැවසීය.

ඒ වෙනුවට නිරන්තරයෙන් ඇතිවන ආපදාවලට ඔරොත්තු දිය හැකි රටක් නිර්මාණය කිරීම සඳහා නව ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් සහ අවශ්‍ය ආයතනික ව්‍යුහයක් ස්ථාපිත කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

2004 වසරේ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයන් 40,000කට පමණ ජීවිත අහිමි වූ පසුවත් රටට නවීන ආපදා කළමනාකරණ ක්‍රමවේදයක් හඳුන්වාදීමට නොහැකි වී ඇති බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන, සිවිල් සමාජය ඇතුළු සියලු පාර්ශ්වයන් එක්ව කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින රටට විදේශීය සංවිධාන, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුජාතික සමාගම් හරහා බලපෑම් එල්ල විය හැකි බැවින්, එම අභියෝගවලටද රටක් ලෙස එක්ව මුහුණදිය යුතු බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button