ප්‍රධාන පුවත්

ව්‍යාජ විදේශ රැකියා ආයතනක් වටලයි – සැකකරුවන් 3ක් අත්අඩංගුවට

වීසා උපදේශන සහ යුරෝපා රැකියා ලබාදෙන බව පවසා වංචාකරමින් ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කාර්යංශයට ලැබුණු පැමිණිලි සහ බුද්ධි තොරතුරු මත ජාඇල සහ කදාන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව සඳහන් වේ. රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 36ක මුදලක් වංචා කළ බවට පැමිණිලි දෙකක් ලැබී තිබූ අතර, ඒ අනුව අදාළ ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි. එම ජාවාරමට සහය වූ කාන්තාවක්ද ප්‍රකාශ සටහන් කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම, මීගමුව ප්‍රදේශයේ සමාජ මාධ්‍ය ඔස්සේ යුරෝපා රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 55ක මුදලක් ලබාගෙන රැකියාව ලබානොදුන් බවටද පැමිණිල්ලක් ලැබී තිබුණි. සිදුකළ වැටලීමකදී ආයතන හිමිකරු අත්අඩංගුවට ගෙන, රැකියා ගිවිසුම් සහ විදේශ ගමන් බලපත්‍රයක්ද නිලධාරීන් භාරයට ගෙන ඇත.

අදාළ සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරුණු බව කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button