
ප්රධාන පුවත්
හැටන්–කොළඹ ප්රධාන මාර්ගයේ සංචාරකයින් රැගත් බසයක් අනතුරට – කතක් මරුට, කිහිපදෙනෙකුට තුවාල
හැටන්–කොළඹ ප්රධාන මාර්ගයේ , යටියන්තොටතණකොළවත්ත ප්රදේශයේදී අද (20) පෙරවරුවේ බස් රථයක් සම්බන්ධ අනතුරක් සිදුව තිබේ.
නුවරඑළිය සිට කොළඹ බලා ගමන් කළ ඉන්දීය සංචාරකයින් රැගත් බස් රථයක් මෙම අනතුරට ලක්ව ඇති අතර, එය මාර්ගය අසළ රැදී සිටි මවක් සහ ඇයගේ දියණිය, පුත්රයා වෙත ගැටී ඇති බව වාර්තා වේ.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ 40 හැවිරිදි මව රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇය සිය දරුවන් දෙදෙනා උපකාරක පන්ති සඳහා යැවීමට මාර්ගය අසළ රැදී සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත.
ඊට අමතරව, බස් රථයේ ගමන්ගත් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකුද තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් යටියන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරමින් පවතී.



