
22 වැනි සංශෝධනයට කථානායකගේ සහතිකය
22 වැනි සංශෝධනය සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (25) සිය සහතිකය සටහන් කළේය.
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය ඊයේ (24) සහ අද පැවැත්වීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.
නව සංශෝධනයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 සිට 67 දක්වා ඉහළ නැංවීමටත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63 සිට 65 දක්වා වැඩි කිරීමටත් ප්‍රතිපාදන සලසා තිබේ.
එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 19 සිට 24 දක්වා වැඩි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 137 වන වගන්තිය සංශෝධනය කිරීමට ද මෙමගින් යෝජනා කර ඇත.
ප්‍රාදේශීය අභියාචනාධිකරණ පිහිටුවා ක්‍රියාත්මක කිරීම තුළින් විභාග කිරීමට නියමිත නඩු කඩිනමින් අවසන් කිරීම සහ නඩුවල පාර්ශවකරුවන්ට කොළඹට පැමිණීමට සිදුවන අවස්ථා අවම කිරීම මෙහි අරමුණක් වේ.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස බලාත්මක වේ.
මේ අතර, අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ද කථානායකවරයා අද සිය සහතිකය සටහන් කළේය.
එම පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය ද ඊයේ සහ අද පැවැත්වුණු අතර, එය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් අද සම්මත කෙරිණි.
අදාළ සංශෝධනය මඟින් මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 සිට 63 දක්වාත්, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්රාත්වරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 සිට 62 දක්වාත් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.
තවද, අධිකරණ සංවිධාන පනතේ 4 වන වගන්තිය සංශෝධනය කරමින් අතිරේක පළාත්බද මහාධිකරණ සහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවීමට හැකි වන පරිදි උපරිම මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත.
ඒ අනුව අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 23 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.



