
රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් තවමත් ඉහළ මූල්‍ය අවදානම් මට්ටමේ
රජය සතු ව්‍යවසායන් පිළිබඳ සිදු කළ මූල්‍ය අවදානම් විශ්ලේෂණයට අනුව ආයතන කිහිපයක් තවදුරටත් ඉහළ මූල්‍ය අවදානම් මට්ටමක පවතින බව 2027 වසර සඳහා නිකුත් කළ මූල්‍ය ක්‍රමෝපාය ප්රකාශනයෙන් අනාවරණය කර ඇත.
එම වාර්තාවට අනුව ලංකා සතොස, මිල්කෝ සමාගම, සීනි සමාගම සහ රාජ්‍ය වැවිලි සංස්ථාව ඉහළ අවදානම් කාණ්ඩයට අයත් වේ. අඛණ්ඩ මූල්‍ය අලාභ, දුර්වල ද්‍රවශීලතාව සහ අධික ණය බර මෙම තත්ත්වයට ප්‍රධාන හේතු ලෙස සඳහන් කර තිබේ.
රජය සතු තෝරාගත් ව්‍යවසායන් 12ක් ඇසුරින් මෙම විශ්ලේෂණය සිදුකර ඇති අතර, මිල සංශෝධන සහ මෙහෙයුම් ගැලපුම්වලින් පසු ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මූල්‍යමය වශයෙන් යම් ශක්තිමත් වීමක් පෙන්නුම් කළද, ඒවා තවමත් අඩු මට්ටමේ අවදානම් කාණ්ඩයේ පවතින බවද වාර්තාවේ දැක්වේ.
එම ආයතනවල මූල්‍ය දර්ශකවල යම් ප්‍රගතියක් දක්නට ලැබුණේ සමුච්චිත අලාභ සහ රජයේ ඇපකර සහිත ණය මහා භාණ්ඩාගාරය වෙත පවරා ගැනීම හේතුවෙන් බවත්, එය අවදානම සම්පූර්ණයෙන් ඉවත් කිරීමක් නොව වෙනත් පාර්ශ්වයකට මාරු කිරීමක් පමණක් බවත් ප්රකාශනය අවධාරණය කරයි.
රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කිරීම සඳහා ප්‍රධාන උපායමාර්ග හයක් ද ප්රකාශනයෙන් හඳුන්වා දී ඇති අතර, ඉහළ අවදානම් සහිත රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම, පිරිවැය ආවරණය වන පරිදි මිල සංශෝධන ක්‍රියාත්මක කිරීම, මූල්‍ය විනය සහ ණය කළමනාකරණය ශක්තිමත් කිරීම, ද්‍රවශීලතාව ඉහළ නැංවීම, පාලන හා අධීක්ෂණ ක්‍රමවේද වැඩිදියුණු කිරීම සහ රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය තහවුරු කිරීම ඒ අතර ප්‍රධාන වේ.



