
පොඩි ලැසී දින 7ක් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණ අවසර
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් හා ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ බව කියන ජනිත් මධුසංඛ නොහොත් ‘පොඩි ලැසී’ දින 7ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙන් අවසර හිමිව තිබේ.
සැකකරු අද (27) බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කර ඇත. ඉන්දියාවේදී අත්අඩංගුවට පත් වූ ඔහු අද අලුයම මෙරටට රැගෙන ආ අතර ඉදිරි විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ.
2016 වසරේ රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනය සම්බන්ධයෙන්ද ඔහු අත්අඩංගුවට පත් විය. පසුව මනුෂ්‍ය ඝාතන, ගිනිඅවි සන්තකයේ තබාගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම්භාරයේ සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.
2020 වසරේ බූස්ස බන්ධනාගාරයේදී බන්ධනාගාර නිලධාරීන්ට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකුට මරණ තර්ජන එල්ල කළ බවටද ඔහුට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ කරුණු වාර්තා කර තිබුණි.
බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාළව 2018 දී ඇප නියම වූවත්, 2024 දෙසැම්බර් 09 දින රුපියල් ලක්ෂයක මුදල් ඇපය හා ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් තැන්පත් කර ඇප කොන්දේසි සම්පූර්ණ කරමින් ඔහු බන්ධනාගාරයෙන් පිටව ගියේය.
ඇප ලැබීමෙන් පසු සැකකරු අතුරුදන්ව සිටි අතර පසුව ඔහු ඉන්දියාවට පලා ගොස් ඇති බව අනාවරණය විය. අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබූ අතර, එම කොන්දේසි උල්ලංඝනය කරමින් ඔහු රටින් පිටව ගොස් තිබේ.
2025 ජනවාරි මාසයේදී ඉන්දියාවේ මුම්බායි නගරයේදී නීති විරෝධී ලෙස එරටට ඇතුල්වීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇත. පසුව දෙරට ආරක්ෂක අංශ අතර සිදු වූ සම්බන්ධීකරණයෙන් ඔහු මෙරටට රැගෙන ඒම සඳහා මෙහෙයුම් ආරම්භ කෙරිණි.
ඊයේ (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු ඉන්දියාව බලා පිටත්ව ගොස් සැකකරු භාරයට ගෙන අද අලුයම ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය.



