ප්‍රධාන පුවත්

2026 පාසල් නිල ඇඳුම් රෙදි චීනයෙන්: සිසුන් මිලියන 4.4කට ප්‍රතිලාභ

2026 වසර සඳහා රජයේ හා රජයේ අනුමත පාසල්වල සිසුන්ට, පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට, සීල මාතාවන්ට සහ ගිහි සිසුන්ට අවශ්‍ය සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රමාණය චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස සපයන ලද බව නිල වශයෙන් දැනුම් දී ඇත.

මෙම ප්‍රදානයට අදාළ නිල සහතික හුවමාරුව අද (22) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණි. එම අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා එක්ව සිටියහ.

2026 වසරේ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට අදාලව රෙදි මීටර් මිලියන 11.484ක් ලබාදීම සම්පූර්ණ වී ඇති අතර, එමඟින් සිසුන් මිලියන 4.4කට වැඩි පිරිසකට ප්‍රතිලාභ හිමිව ඇති බව සඳහන් වේ.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

“චීන සමූහාණ්ඩුව විසින් අපගේ පාසල් සිසුන්ට ලබාදුන් මෙම නිල ඇඳුම් ප්‍රදානය දෙරට අතර පවතින නොබිඳෙන සහයෝගීතාවයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. අප රජය අපේක්ෂා කරන අධ්‍යාපන පරිවර්තනයට යාමට අවශ්‍ය පහසුකම් ලබාදීම මෙන්ම, ආර්ථික හා සමාජීය වශයෙන් ඉදිරියට යාමට අවශ්‍ය සහය ද චීනය අපට නොකඩවා ලබාදෙන රටක්.

පාසල් නිල ඇඳුමක් යනු සරල දෙයක් නෙමෙයි. එය ගෞරවය සහ සමානාත්මතාවය පිළිබඳ කරුණක්. මෙම නිල ඇඳුම් බෙදාදීමේ වැඩසටහන මගින් අසමානතා අවම කරමින් දරුවන්ට විශ්වාසයෙන් යුතුව අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදෙනවා. එසේම ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන්ට සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙම ක්‍රියාවලිය කිසිදු කාල ප්‍රමාදයකින් තොරව සිදුකිරීම සඳහා දැක්වූ සහයෝගයට මා ස්තූතිය පුද කරනවා.”

එහිදී අදහස් දක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා, 

“මෙම පාසල් නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහන නොකඩවා අවුරුදු 4ක කාලසීමාවක් තිස්සේ සිදුකරමින් පවතින බවත්, ඊට අමතරව පාසල් සිසුන් සඳහා ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය, චීන ශිෂ්‍යත්ව පිරිනැමීම වැනි විවිධ වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පරිවර්තනීය මාවතකට රැගෙන යාමට අවශ්‍ය සහය ලබාදෙමින් සිටිනවා. එය චීන සහ ශ්‍රී ලංකා ජනතාව අතර තිබෙන නොබිඳෙන මිත්‍රත්වය පෙන්වා දෙන සලකුණක්.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button